Aug 12, 2017

CSN නඩුවට සැක ගාඩියා කරුණාජීවට වරෙන්තු Featured

මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කරමින් සීඑස්‌එන් (කාල්ටන් ස්‌පෝර්ට්‌ නෙට්‌වර්ක්‌- CSN ) මාධ්‍ය ආයතනය ස්‌ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 234 ක ප්‍රාග්ධනය උපයා ගත් ආකාරය හෙළි නොකිරීම ඇතුළු චෝදනා හතක්‌ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති පුත්‍ර ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු ලුතිනන් යෝෂිත රාජපක්‍ෂ මහතා ඇතුළු ඉහත කී ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ හතරදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ තවත් සැකකාරියක්‌ ලෙසට නම් කර සිටින දැනට විදේශගත ව සිටින බව කියන ගාඩියා කරුණාජීව යන තැනැත්තියට අධිකරණයට ඉදිරිපත් වීමට කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස්‌ මහතා වරෙන්තු නියෝගයක්‌ නිකුත් කළේය.

ඉකුත් 2016 වසරේ ගොනු කර තිබූ මෙම පැමිණිල්ලට අදාළව නඩුව යළි කැඳවූ අවස්‌ථාවේ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් අධිකරණයෙන් කළ ඉල්ලීමක්‌ සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය නිකුත් කරන ලදී.

මෙම නඩුව විභාගයට ගත් මුල් අවස්‌ථාවේ (2016 ජනවාරි) යෝෂිත රාජපක්‍ෂ, නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට වෛද්‍ය අශාන් රබිනාත් ප්‍රනාන්දු හා සචිත්‍ර කවිශාන් දිසානායක යන සැකකරුවන් පස්‌දෙනාට එරෙහිව පැමිණිල්ල ගොනු කර තිබූ අතර පසු අවස්‌ථාවකදී මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් ඉහත කී කාන්තාව ද සැකකාරියක්‌ ලෙසට නම් කර සිටියේය.

චෝදනා රැසක් :

සීඑස්‌එන් ආයතනය ගොඩනැඟීමේදී යොදවා ඇති රුපියල් මිලියන 234 ක ප්‍රාග්ධනය අතරින් කොටසක්‌ උපයා ගත් ආකාරය හෙළි නොකිරීම, කූට ලේඛන සකස්‌ කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය, රේගු පනතට ගැනෙන වැරදි සිදු කිරීම හා සමාගම් පනත උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

පැමිණිල්ල නැවත කැඳවූ අවස්‌ථාවේ සැකකාර ගාඩියා කරුණාජීව යන තැනැත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් මෙන්ඩිස්‌ මහතා අධිකරණයට කරුණු දක්‌වමින් තම සේවාදායිකාව වසර 1 1/2 ක පමණ කාලයක සිට විදේශගතව සිටින බවත්, ඇයට එරෙහිව වරෙන්තු නියෝගයක්‌ නිකුත් කර ඇති බව දැන ගත්තේ ෆේස් බුක්‌ (මුහුණු පොත) හරහා බවත් පොලිසිය මෙම නඩුව ගොනු කරන අවස්‌ථාව වන විටත් ඇය විදේශගතව සිට ඇති බවත් ප්‍රකාශ කළේය.

තවද ඇය මෙරට නොසිටි අවස්‌ථාවක පොලිසිය වරෙන්තුවක්‌ ඉල්ලා සිටීම ස්‌වාභාවික යුක්‌ති ධර්මය උල්ලංඝනය වීමක්‌ යෑයි ද නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී සීඑස්‌එන් ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතාගේ ඉල්ලීමකට අනුව දැනට නඩු භාණ්‌ඩයක්‌ වශයෙන් කඩුවෙල අධිකරණ භූමියේ තබා ඇති දැන්වීම් කුලුනක්‌ කොටස්‌ කර ඉවත් කර ගැනීමට විනිසුරුවරයා අවසර ලබාදෙන ලදී.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top