15976 BM WEB BANNER 01
Aug 13, 2017

'විජේදාසට එරෙහිව තාම නිල තීරණයක් නැහැ' - එජාප ලේකම් Featured

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් තීරණයක් ගෙන නැතැයි එහි මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායමක් සූදානම් වන බවට ඉකුත් දිනවල පළ වූ වාර්තා සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' කළ විමසීමකදීය.

කෙසේවුවද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නැයි අගමැතිවරයා, ඉදිරි සතියේදී
ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටීමට නියමිත බව එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගය පිළිබද ඊයේ (12) ස්ථාන කිහිපයකදී දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළහ.


වීඩියෝ



චෝදනා පත්‍රය මෙන්න :

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව එජාප මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කරනු ලබන විශ්වාස භංග යෝජනාවේ පිටපතක් 'ලංකා ඊ නිව්ස්' ප්‍රකාශයට පත්කර ඇති අතර, එහි පහත කරුණු අන්තර්ගතවේ.

1. බරපතල දූෂණ ක්‍රියාවන් සහ බරපතල මිනීමැරුම් ඇතුළු අපරාධ නඩු කටයුතු සාධාරණ ලෙස සහ ඉක්මනින් විභාග කොට, අවසන් කොට, අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමට අවශ්‍ය වන්නා වූ නව නීති සැකසීමට සහ පරිපාලන රාමුව සකස් කිරීමට ‘අධිකරණ‘ විෂය භාර අමාත්‍යවරයා සම්පූර්ණයෙන්ම අසමත් වී ඇති බැවින් ද;

2. දූෂණ විෂයේ සහ අල්ලස් විරෝධී නව නීති හඳුන්වාදීමට ‘අධිකරණ‘ විෂය භාර අමාත්‍යවරයා සම්පූර්ණයෙන්ම අසමත් වී ඇති බැවින් ද;

3. අපරාධ මගින් රැස් කරන ලද ධනය නැවත අත් කර ගැනීමට අදාල නීති, ප්‍රමුඛත්වය ලබා දී සම්මත කර ගැනීමට ‘අධිකරණ‘ විෂය බාර ඇමැතිවරයා සම්පූර්ණයෙන්ම අසමත් වී ඇති බැවින් ද;

4. අපරාධ යුක්තිය පසිඳලීම කාර්යක්ෂමව ඉටුකරලීම සඳහා ඉදිරිපත් වූ ඵලදායී යෝජනා අනුව කටයුතු කිරීම ම ‘අධිකරණ‘ විෂය භාර ඇමැතිවරයා විසින් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කර ඇති බැවින් ද;

5. අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම පිළිබඳ මූලධර්මය අනුව කටයුතු කිරීමට බුද්ධශාසන සහ අධිකරණ කටයුතු බාර අමාත්‍යවරයා අසමත් වී ඇති බැවින් ද;

අධිකරණ අමාත්‍ය හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මැතිතුමා පිළිබඳ මෙම පාර්ලිමේන්තුවේ විශ්වාසය නොමැති බව මෙයින් ප්‍රකාශ කරන අතර, මෙම යෝජනාව බාර ගෙන, එකී යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට, විවාදය පිණිස ඇතුලත් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top