Aug 13, 2017

වර්ග සංහාරයක් ගැන පාඩමක් : ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් රුවන්ඩාවේ (වීඩියෝ)

දෙමළ ජනතාවට එරෙහි වර්ග සංහාරයක් දියත් කළ බවට චෝදනා ලබන ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ රාජකාරි කරන ඉහළ නිලධාරීන් පිරිසක් දශලක්ෂයකට ආසන්න ටුට්සි ගෝත්‍රිකයන්ගේ වර්ග සංහාරයකින් අනතුරුව රුවන්ඩාව සංහිඳියාවට එළැඹි ආකාරය පිළිබඳව පාඩම් ලැබීම සඳහා එරටට ගොස් සිටිති.

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන සම්බන්ධීකාරක නිලධාරියාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 9 දා රුවන්ඩාවට ගොඩබට දහසය දෙනකුගෙන් සැදුම්ලත් කණ්ඩායම සති දෙකකට ආසන්න කාලයක් අධ්‍යයන චාරිකාවක නිරත වනු ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවද රුවන්ඩාව හා සමාන ව්‍යසනයක් අත්දුටු බව පවසන ප්‍රධාන සම්බන්ධීකාරක කර්නල් කිත්සිරි ඒකනායක අවධාරණය කර ඇත්තේ එසේ හෙයින්, රුවන්ඩාව සංහිඳියාව කරා යන ආකාරය ඉගෙනීම අත්‍යාවශ්‍ය බවයි.

වීඩියෝ


සියක් දිනකදී දසලක්ෂයක්:

රුවන්ඩාවේ වාර්ගික සුළුතරයක් වන ටුට්සින් ලක්ෂ දහයක් පමණ 1994 දී දින සියයක් වැනි කෙටි කාලයක් ඇතුලත දී හුටු වාර්ගික අන්තවාදීන් විසින් සමුලඝාතනය කරන ලදී.

කවර ජන වර්ගයකට අයත් වුවද, දේශපාලන විරුද්ධවාදීන්ද එම සංහාරයේ ගොදුරු බවට පත් කරගන්නා ලදී.

වර්ග සංහාරයෙන් ඝාතනය කෙරුනු ලක්ෂ දෙකහමාරකට වැඩි ටුට්සින් මිහිදන් කර ඇති කිගාලි අගනුවර පිහිටි ස්මාරකය වෙත ගිය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා නියෝජිත පිරිස විසින් පුෂ්පෝපහාරයක්ද පවත්වන ලදී.

ස්මාරකය දැක බලාගනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලයේ ප්‍රධානියා කියා සිටියේ ලෝකයේ කවර තැනක හෝ වර්ග සංහාර සිදුවනු වැලක්වීමට ජාත්‍යන්තර ප්‍රජාව පියවර ගත යුතු බවයි.

“සැමදෙනාම මනුෂ්‍යයන් වන අපට මෙවැනි ශෝඛාන්ත දුටුවිට ඒවා දරා ගන්නට ඉතා අමාරුයි,” යනුවෙන් කර්නල් ඒකනායක පවසා තිබේ. “එහෙත් මෙවැනි දේ කිසිම ජාතියක හෝ අපේ රටේ හෝ සිදුවීම වැලක්වීමට සටන් වැදීම මනුෂ්‍යයන් හැටියට අපේ වගකීම හා යුතුකමයි.”

රුවන්ඩාවේ වර්තමාන ජනාධිපතිවරයා වර්ග සංහාරය හමාර කිරීමේ ගෞරවයට පාත්‍රවන ටුට්සි වාර්ගික පෝල් කගාමේ ය.

SL forces Rwanda

එක්සත් ජාතීන් නූගත් පාඩම්:


එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයක් 2012 දී නිගමනය කළේ දෙමළ ජනතාව සමූලඝාතනයකින් ගලවා ගන්නට අසමත් වීමෙන්, රුවන්ඩා වර්ග සංහාරය වැනි අතීත ඛේදවාචක වලින් ජගත් සභාව පාඩම් ඉගෙන ගෙන නැති වග පෙන්නුම් කර ඇති බවයි.

අඩුම වශයෙන් සාමාන්‍ය වැසියන් හැත්තෑ දහසක් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් පස් මාසය තුල මරුමුවට පත්වූ බව එම වාර්තාව ගණන් බලා ඇත.

“රුවන්ඩා ආරක්ෂක හමුදාව පිහිටුවන ලද්දේ 1994 වර්ග සංහාරයත් සමගමයි,” යනුවෙන් කිත්සිරි ඒකනායක කිගාලියේදී පවසා තිබේ. “විසිතුන් අවුරුදකට පසු ඔවුන් වෘත්තීය වශයෙන් දියුණු හමුදාවක් බවට පත්වී ලබා තිබෙන සුවිශේෂ ජයග්‍රහණ වලින් අපටත් ඉගෙන ගන්නට පුළුවන්.”

වර්ග සංහාරයේ බියකරු අත්දැකීම් සහිත තම රටින් පාඩම් උගැන්මට එන කාටත් “දොර හැර තිබෙන බව” රුවන්ඩා ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සහ උපායමාර්ග පිළිබඳ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජෙනරාල් ෆර්ඩිනන්ඩ් සෆාරි ශ්‍රී ලංකා නියෝජිත පිරිසට පවසා තිබේ.

ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක සේනා අත් විඳින දණ්ඩ මුක්තියේ වරප්‍රසාදය අහෝසි කොට පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ නිර්දේශයකි.

දෙමළ යුද පීඩිතයන්ද චෝදනා කරන පරිදි ශ්‍රී ලංකා රජය වර්ග සංහාරයක යෙදුනු බව 2014 ජර්මනියේ බ්‍රේමන් නුවර මුළුදුන් ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලක ඒකමතික තීරණය විය.

ශ්‍රී ලංකාව වර්ග සංහාර චෝදනාව පමණක් නොව දෙමළ සමුලඝාතනයක් සිදු කළ බවද ප්‍රතික්ෂේප කරයි.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top