Nov 17, 2016

කාර් ගන්න හිටපු අයට කුඩ ඉල්ල ගන්න වෙලා

ගූගල් බැලුන් සහ වයිෆයි කලාප ගැන කී ආණ්ඩුව දුරකථනයටත් අන්තර්ජාලයටත් බදු පිට බදු ගසා තරුණ පරපුරට දැඩි පීඩාවක් එල්ල කර ඇතැයි සමාජවාදී තරුණ සංගමය චෝදනා කරයි.

රජෙකු මෙන් සිටි මහින්ද රාජපක්ෂ මහතාට ගෙදර යන්නට සමාජ ජාලා මාධ්‍ය ප්‍රබල ලෙස බලපෑවේ යැයි කී එම සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා වත්මන් පාලකයන් අමතක කරඇත්තේ එවන් බලවේගයක් යැයි ද කීය.

ඩිජිටල් කලාව

''මේ වෙනකල් අපිට සිම් කාඩ් එකක් දුරකථන සමාගම්වලින් නොමිලේ දුන්නා. මේ අයවැයෙන් නොමිලේ දුන්නු සිම් කාඩ් එකෙන් රු.200ක බද්දක් අයකර ගන්නවා. අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කරනවා කියන්නේ ඩිජිටල්කරණයේම අංගයක්. මේ රට ඩිජිටල්කරණය කරන්න ආපු ආණ්ඩුව අන්තර්ජාලය හරහා කරන ගනුදෙනුවලිනුත් 0.05% බද්දකුත් අයකර ගන්නවා. කතාව නම් ඩිජිටල්. නමුත් හැම පහසුකමකටම බද්දක් ගහනවා. ඒක තමයි මේ ආණ්ඩුවේ ඩිජිටල් කලාව.

හිතාමතා වාහන හප්ප ගන්නේ නැහැ

මාර්ග අනතුරකදී තිබුණු අවම දඩය රු.20/, රු.2500 දක්වා වැඩිකර තිබෙනවා. උපරිම ගාස්තුව මොකක්ද කියලා දන්නේ නැහැ. මිනිස්සු හිතාමතා වාහන හප්ප ගන්නේ නැහැ. නොවැළක්විය හැකි හේතුවක් නිසා මාර්ග අනතුරු සිදු වෙනවා. එහෙත් මේ ආණ්ඩුව මාර්ග අනතුරු අවම කරන්න කියලා ඒකටත් දඩයක් ගහනවා. අනෙක් රටවල මාර්ග අනතුරු වැළැක්වීමට සී.සී.ටී.වී කැමරා සවි කර දැනුවත් කිරීම් කරනවා. පොලීසිය මාර්ගවල සිට අනතුරු වැළැක්වීමට දායක වෙනවා. නමුත් ලංකාවේ පොලීසිය ඉන්නේ කානු අස්සේ. ගස් අස්සේ. හැංගිලා ඉඳලා වැරැද්දක් වුණාම දඩ ගහනවා. මේ ආණ්ඩුව මිනිස්සු හැප්පෙනකං ඉඳලා, රෝහල් ගතකරනකං බලන් ඉඳලා බදු ගහනවා.

කාර් වෙනුවට කුඩ තමයි

රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා තරුණ තරුණියන්ට නොතෙමී යන්න කාර් දෙනවා කිව්වා. අපේ රටේ තරුණ තරුණියන්ට තිබෙන හීනයක් ථමයි ලීසිං කරලා හරි වාහනයක් ගන්න එක. නමුත් මේ ආණ්ඩුව මීට පෙර බයික් සඳහා තිබුණු 70% ලීසිං පහසුකම 50% දක්වා අඩු කරනවා. ත්‍රීවීල් සඳහා ලීසිං පහසුකම 25% දක්වා අඩු කරනවා. දැන් තරුණ තරුණියන්ට නොතෙමී යන්න කාර් නෙවෙයි ගන්න වෙන්නේ. අගමැතිතුමාගෙන් කුඩයක් තමයි ඉල්ලගන්න වෙන්නේ.

ලැප් තියා ටැප් වත් නෑ

අයවැයෙන් සිසුන්ට ටැබ් දෙන්න යෝජනා කරනවා. නමුත් මේ ආණ්ඩුවට අමතක වෙලා, පසුගිය අයවැයෙන් විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප් දෙනවා කියපු එකත්. විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප් තියා විශ්වවිද්‍යාලයකට වතුර ටැප් එකක් හයිකරන්න මේ ආණ්ඩුවට බැරිවෙලා. අධ්‍යාපනය ඇතුළේ පෞද්ගලික අධ්‍යාපනය සඳහා පොළඹවන විදිහේ යෝජනා ථමයි මේ අයවැයෙන් ගෙනල්ලා තිබෙන්නේ. තරුණ තරුණියන් 30,000කගේ පමණ බාහිර උපාධිය ගැන මේ ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නැහැ. ඔවුන් අපහසුතාවයට පත්වෙලා තිබෙනවා.''

ආණ්ඩුවට තවදුරටත් පැනැවීමට ඉතිරිව ඇත්තේ මළ බද්ද හා මිනී පෙට්ටි බද්ද පමණක් යැයි ද ගුණසේකර මහතා වැඩිදුරටත් පැවැසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top