nsb

Nov 18, 2016

සුළු ජාතීන් හා ආගම් වල අයිතීන් නසන භික්ෂූන්ට නීතිය ක්‍රියාත්මක කරන්න

සුළු ජාතීන් සහ ආගම් වලට එරෙහිව ඇතැම් බෞද්ධ භික්ෂුන්වහන්සේලා විසින් නොනවත්වාම සිදු කරගෙන යනු ලබන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් හමුවේ නීතිය ක්‍රියාත්මක නොකොට පොලිසිය සහ රජය විසින් මුනිවත රකිමින් එකී ක්‍රියාවන් අනුබල දෙන ලෙස හැසිරීම දැඩි අප්‍රසාදයෙන් යුතුව හෙලා දකින බව ශිෂ්ට ලංකා2015 (DecentLanka2015) සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

සිවිල් සාමාජ කණ්ඩායම විසින් මෙවැනි සිද්ධීන් හා පහරදීම් පිළිබඳව අවස්ථා ගණනාවකදීම අදාළ අධිකාරීන් වෙත දැනුම් දීම් කර තිබුනද ඒවාට එරෙහිව කිසිදු නීතිමය පියවර ගෙන නැති බව එම සංවිධානය සදහන් කර සිටියි.

නීතියේ ඉදිරියේ සමානාත්මතාවය යන මුලික සිද්ධාන්තය යටතේ එවැනි ක්‍රියා වල නිරත වන සෑම අයෙක්ටම බෞද්ධ භික්ෂුන් ඇතුළුව නීතිය ඒකාකාරව ක්‍රියාත්මක කල යුතු බවත් පොලිසියේ වගකීම වන්නේ කිසිදු වෙනසකින් තොරව නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කිරීම බවත් එම සංවිධානය සදහන්කර සිටියි.

එබැවින් පහත සඳහන් ක්‍රියාමර්ග කඩිනමින් ගැනීමට කටයුතු කරන ලෙස එම සංවිධානය ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටියි.

(1) 2016 නොවැම්බර් මස 15 වන දින සිදු කරන ලද ජාති හා ආගම් අතර ප්‍රචණ්ඩත්වය අවුළුවන සුළු ද්වේශ සහගත ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම ඥානසාර හිමියන් අත් අඩංගුවට ගත යුතුය. ඥානසාර හිමියන්ගේ මෙම ක්‍රියාව පිළිබඳව අවශ්‍ය තරම් සියලු තොරතුරු පොදු මාධ්‍ය තුල දක්නට ඇත. එසේම මේ වන විටත් එම හිමියන් විසින් අලුත්ගම සිද්ධිය නැවත කිරීමට යාම සම්බන්ධයෙන් 2016 ජුනි මස කල ප්‍රකාශයට එරෙහිව නීතිමය කටයුතු ආරම්භ වී ඇත.

(2)මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති අම්පිටියේ සුමංගල හිමියන් විසින් සිදු කල ජාති වාදය පදනම් කරගත් හිංසනය සහ නීතිය උල්ලංඝනය කිරීම් වලට එරෙහිව එම හිමියන් වහාම අත් අඩංගුවට ගත යුතුය. එම ක්‍රියාවන් සඳහා ඉහත සපයා ඇති වීඩියෝ දර්ශන ප්‍රමාණවත් තරම් සාක්ෂි සපයයි.

(3)අනෙක් සියලු අන්තවාදී කණ්ඩායම් අත් අඩංගුවට ගෙන ඔවුන්ගේ ක්‍රියාවන් පිළිබඳව විමර්ශන පවත්වා නීතිය ක්‍රියාත්මක කල යුතුය.

(4)ඥානසාර හිමියන් විසින් අලුත්ගම සිද්ධිය නැවත සිදු කිරීම සම්බන්ධයෙන් සිදු කල ප්‍රකාශය සම්බන්ධව මුස්ලිම් කවුන්සිලය සිදු කල පැමිණිල්ල සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය පියවර පිළිබඳව මහජනතාව දැනුවත් කල යුතුය.

(5)අනාගතයේදී යලිත් මෙවන් ජන වාර්ගික හෝ ආගම් අතර ප්‍රචණ්ඩත්වය උසි ගැන්වෙන ආකාරයේ ප්‍රකාශ හා සුළු ජාතීන්ට එරෙහි තර්ජනය කිරීම් සිදු වීම වැලක්වීමට ගෙන ඇති පියවර පිළිබඳව මහජනතාව දැනුවත් කල යුතුය. මෙහිදී විශේෂයෙන්ම මෙවන් ක්‍රියා වලට නායකත්වය දෙන හෝ ඒවායේ නිරත වන බෞද්ධ භික්ෂුන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සහ එසේ භික්ෂුන්වහන්සේලා එවැනි ක්‍රියා නිරත වීම වැලක්වීමට ගන්න පියවර පිළිබඳව මහජනතාව දැනුවත් කල යුතුය. ඊට හේතුව නම් සමාජය තුල බෞද්ධ භික්ෂුන්වහන්සේලා ඔවුනට හිමිව ඇති ආගමික ගෞරවය සහ වටිනාකම මෙවැනි ක්‍රියාවල නිරත වීමට උපයෝගී කර ගැනීමයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top