nsb

Nov 18, 2016

'ජාතිවාදය උසිගන්වන්නන් අත්අඩංගුවට ගන්න' - ජනපතිගෙන් නියෝගයක් Featured

ජාතිවාදය උසිගන්වන පුද්ගලයන් වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට නියෝග කොට තිබේ.

එසේ අත්අඩංගුවට ගැනීමේදී වාර්ගිකත්වය නොතකන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් දුන් බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා භාර අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරයි.

අලුතින් සම්පාදනය කෙරෙන ව්‍යවස්ථාවට අනුව නව නීති සැකසෙන තුරු වාර්ගික අසමගියට තුඩුදෙන ප්‍රකාශ කරන්නන් දැනට පවතින නීතිය අනුව අඩුම වශයෙන් අවුරුද්දක් රිමාන්ඩ් ගත කර තැබීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ඇමැති මනෝ ගනේෂන් මහතා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නිවේදනය කර තිබේ.

ජාතිවාදී වෛරක්කාරී ප්‍රකාශ ප්‍රසිද්ධියේ කිරීම නිසා මේ වනවිට ඩෑන් ප්‍රියසාද් ලෙසින් තමන් හඳුන්වාගන්නා දෙමටගොඩ සුදේශ් ප්‍රියසාද් සහ ශ්‍රී ලංකා තව්හීද් ජමාද් සංවිධානයේ නායක අබ්දුල් රාසික් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටිති.

අනතුරු ඇඟවීමක් :

මේ අතර, 'රාවය' පුවත්පතේ පටිසෝතගාමී අභිචාරිකා මාධ්‍ය මෙහෙවරට තිස්වන වසරක් සැපිරීම නිමිත්තෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH ) හිදී පසුගිය 15දා පැවති විශේෂ සංවත්සර උත්සවය අමතමින් 

ජනාධිපතිවරයාත් අගමැතිවරයාත්, සිංහල දෙමල මුස්ලිම් අන්තවාදී පිරිස් යලි ජාතිවාදී ගැටුමක් ඇතිකරලීම සඳහා සැලසුම් සහගත කුමන්ත්‍රණයක යෙදී සිටින බව අවධාරණය කර කර සිටියහ.

එසේම, පෙරේදා (16) නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා, සිංහල සහ මුස්ලිම් කෝලහාලයක් නැවත ඇති කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සහ කරන බව කියා සිටියේය.

සිංහල සහ මුස්ලිම් කෝලහාලයක් නැවත ඇති කිරීමෙන් ඊට සහාය දෙන පාර්ශ්ව උත්සහ කරන්නේ සාමකාමී තත්ත්වයක් යටතේ ඉටුකරගත නොහැකි රටට අහිතකර බලාපොරොත්තු ඉටුකර ගැනීමට බවද මෙහිදී ඔහු ප්‍රකාශ කළේය.

මීට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේදී එනම්, 1915 දී සිංහල මුස්ලිම් කෝලහාලයක් ඇති වූ බව මෙහිදී සිහිපත් කල බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා, එම මුස්ලිම් සිංහල කෝලහාලය ඇති වූ විට එදා අත්අඩංගුවට පත් වූයේ ඩී.එස් සේනානායක, එෆ්. ආර් සේනානායක, පියදාස සිරිසේන, අනගාරික ධර්මපාල වැනි අය බවත් සඳහන් කළේය.

වසර 100 කට පසු අදත් එවැනි තත්ත්වයක් ඇති කිරීමට උත්සහ කරන බව ඔහු පෙන්වා දුන්නේය.

ඉතිහාසයේ වරක් සිදු වූ දෙය නැවත නැවත සිදු වෙමින් පවතින බව සමස්ත ජනතාවම අවබෝධ කරගත යුතු බව සඳහන් කළ මන්ත්‍රීවරයා, එවැනි තත්වයක් යලි සිදුවීමට කිසිඳු ලෙසකින් ඉඩදිය යුතු නැති බවද අවධාරණය කර සිටියේය.


සබැඳි පුවත්

'අන්තවාදීන් කුමන්ත්‍රණයක' - ජනපති හා අගමැති අනතුරු අඟවති

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top