15976 BM WEB BANNER 01
Nov 19, 2016

'අපි ණයට මගුල් කන රටක්' - විජේවර්ධන

ශ්‍රී ලංකාව ණය බරින් නිදහස් වී ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් ආණ්ඩුවේ වියදම් අඩු කර ගත යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති W A විජේවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බීබීසි සංදේශය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

ආර්ථික විශේෂඥයෙකු වන ඔහු ශ්‍රී ලංකාව ණයට මගුල් කන රටක් ලෙස හඳුන්වා දෙමින් වියදම් අඩු කර ගැනීම දේශපාලකයාගෙන් පටන් ගතයුතු බව කියා සිටියේය.

ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසු නොකඩවා ණය මත යැපෙමින් සිටින බව කියා සිටි W A විජේවර්ධන මහතා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ ආදායම රුපියල් සියයක් යැයි උපකල්පනය කළොත් ඉන් රුපියල් අසූ අටක්ම පරිභෝජනය සඳහා වැය කරන ලංකාව ඉතිරි කරන්නේ රුපියල් දහඅටක් වැනි සුළු ප්‍රමාණයක් බවය.

උදාහරණයක් ලෙස සිංගප්පූරුව ගෙන හැර පෑ ඔහු කියා සිටියේ එරට ආදායම රුපියල් සියයක් යයි උපකල්පනය කළොත් ඔවුන් රුපියල් පනහක් ඉතිරිකොට පරිභෝජනය වෙනුවෙන් ඉතිරි පනහ වියදම් කිරීමට පුරුදු වී සිටින බව පෙන්වා දුණි.

විදේශ ණය පියවීම :

ශ්‍රී ලංකාව 1948 නිදහස ලබන විට රටේ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 18% කට සීමා වූ ණය ප්‍රමාණයක් පැවතියද මේ වන විට එම ණය බර ඉතා උග්‍ර වශයෙන් ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි.

පවතින ණය බරින් වැඩි බලපෑමක් එල්ල වන්නේ විදෙස් ණයවලින් බව කියා සිටි W A විජේවර්ධන මහතා පවසන්නේ එම ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකාව උපයන විදේශ විනිමය වියදම් කිරීමට සිදුවීම ආර්ථිකයට දැඩි හානියක් සිදු කරන බවය.

ඒ අනුව විදෙස් ශ්‍රමිකයන්ගෙන් වසරකට ශ්‍රී ලංකාව උපයන ඇමරිකානු ඩොලර් බිලියන හතහමාරක පමණ ධනය විදේශ ණය පියවීමට වැය කෙරෙයි.

මෙම මහා ණය චක්‍රයෙන් ගැලවීමට නම් ශ්‍රී ලාංකිකයන් පාරිභෝජන වියදම් අඩු කර ගැනීමට උගත යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයාගේ අදහස වේ.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ රජය ගෙන යන නාස්තිකාර වියදම් සියල්ලම කපා හරිය යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

උදාහරණයක් ලෙස පසුගියදා මැති ඇමතිවරුන්ට ලබා දුන් තීරුබදු රහිත වාහන බලපත් රජයට දැරිය නොහැකි අනවශ්‍ය වියදමක් බව කියා සිටි W A විජේවර්ධන මහතා පැවසුවේ පවතින ආණ්ඩුවත් රටට නැති මුදල් වියදම් කරමින් සිටින බවය.

(බිබිසි සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top