Nov 19, 2016

'ඇවන්ට්ගාර්ඩ්' : රජයට වසරකට මිලියන1869 ක පාඩුවක් !

සියලු වියදම් හැර රජය වෙත රුපියල් බිලියන 3.7 ක මුදලක් ඇවන්ට් ගාර්ඩ් සමාගම විසින් වාර්ෂික ගෙවූ බවත් නමුත් බලහත්කාරයෙන් රජයට පවරා ගැනීමෙන් පසු පසුගිය වසර තුළ රජය මගින් උපයා ගෙන ඇත්තේ රුපියල් බිලියන 2.33 ක් බවත් ඒ අනුව රජයට බිලියන 2කට ආසන්න මූල්‍ය පාඩුවක් සිදුවී ඇති බවත් ඇවන්ට් ගාර්ඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මේ පිළිබඳව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් මේ කරුණු අනාවරණය කර ඇත. සේනාධිපති මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

වර්ෂයකට ඩොලර් බිලියන 4.56 ක්:

2013 සහ 2014 වර්ෂවලදි ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සමාගම විසින් ගාල්ලේ ස්ථාපිත කර තිබු පාවෙන අවි ගබඩා ව්‍යාපෘතියෙන් පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 9.13 ප්‍රමාණයක විදේශ විනිමයක් උපයන ලදි. ඒ අනුව වර්ෂයකට ඩොලර් බිලියන 4.56 ප්‍රමාණයක් උපයන ලදි.

තවද මෙම ව්‍යාපෘතිය සදහා විශ්‍රාමික රණවිරුවන් 500 ක් පමණ ස්ථීර සේවයේ යොදවා තිබු අතර ඔවුන්ට ඉතාමත් ඉහළ වැටුප් ලබා දෙන ලදි.

ඔවුන්ගේ වැටුප් සදහා මෙම වර්ෂ දෙක තුළදි රුපියල් මිලියන 1131 ක ප්‍රමාණයක් වැය කර ඇත.

ඒ සමගම මෙම ගාල්ල පාවෙන අවි ගබඩා සම්බන්ධ අනෙකුත් සමුද්‍රයීය ආරක්ෂක ව්‍යාපෘති ආරම්භ කරන ලද අතර එම ව්‍යාපෘති සමග රැකියා අවස්ථා 3500 ක් පමණ බිහිවුණි. ඔවුන් සදහා ද ඉතාමත් ඉහළ වැටුප් ලබා දෙන ලදි.

මෙහෙයුම් 500 සිට 850 දක්වා :

ගාල්ල පාවෙන අවි ගබඩා ව්‍යාපෘතිය නාවික හමුදාව විසින් පවත්වාගෙන යාමේදි (වර්ෂ 2009 සිට 2012 දක්වා) නාවික හමුදාව විසින් මසකට මෙහෙයුම් 500 ක් සිදු කළ නමුත් මෙම ව්‍යාපෘතිය ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සේවා පුද්ගලික සමාගම විසින් භාරගත් පසු මෙහෙයුම් සංඛ්‍යාව උපරිමය 850 දක්වා වර්ධනය කරන ලදි.

මෙම මෙහෙයුම් කටයුතුවල ගුණාත්මකභාවය සහ මනාකළමනාකාරිත්වය හේතුවෙන් ලෝකයේ සියලුම පෞද්ගලික සමුද්‍රයීය ආරක්ෂක සමාගම් ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සමාගම පවත්වාගෙන ගිය ගාල්ලේ පාවෙන අවි ගබඩාවල ඔවුන්ගේ අවි තැන්පත් කිරිම සදහා තොරා ගන්නා ලදි.

නාවික හමුදාව විසින් මෙම ව්‍යාපෘතිය 2015 නොවැම්බර් මස 13 වන දින බලහත්කාරයෙන් කිසිදු නිසි බලධාරියකුගේ ලිඛිත අවසරයකින් තොරව අන්තනෝමතික ලෙස ලෝකයේ සියලුම පෞද්ගලික සමුද්‍රයීය ආරක්ෂක සමාගම් අපහසුතාවයට ලක් කරමින් ගාල්ල පාවෙන අවි ගබඩාවේ තිබු විදේශිය පෞද්ගලික සමුද්‍රයීය ආරක්ෂක සමාගම්වලට අයත් අවි, උණ්ඩ සහ උපාංග ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සමාගමේ පාවෙන අවි ගබඩාවේ සේවය කළ නිලධාරින්ට තර්ජනය කොට බලහත්කාරයෙන් පවරා ගන්නා ලදි.

ලංකාව අතහැර මැලේසියාවට ගිහින් :

නාවික හමුදාවේ මෙම අන්තනෝමතික ක්‍රියාව නිසා එනම් අවි ගබඩා මෙහෙයුම් කටයුතු බලහත්කාරයෙන් අත්පත් කර ගැනිමෙන් ජාත්‍යාන්තර පුද්ගලික සමුද්‍රයීය ආරක්ෂක සමාගම් ගාල්ලේ අවි ගබඩා කිරිමෙන් වැලකි සිටි අතර ඔවුන් වෙනත් රටවල් වෙත යන ලදි.

උදාහරණයක් ලෙස පුද්ගලික සමුද්‍රයීය ආරක්ෂක සේවා සමාගම් සතු අවි ගබඩා කිරිම සදහා අලුතින් අවි ගබඩාවක් මැලේසියාවේ ස්ථාපනය කරන ලදි. එමගින් ලංකාවට ලැබෙමින් තිබු විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අහිමි වන ලදි.

ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සමාගම පාවෙන අවි ගබඩාව පවත්වාගෙන යාමේදි එක් මෙහෙයුමක් සදහා පුද්ගලික සමුද්‍රයීය ආරක්ෂක සමාගම් වෙතින් ඇමරිකානු ඩොලර් 3500 ක මුදලක් අය කරන ලදී.

නමුත් නාවික හමුදාව මෙම ක්‍රියාවලිය 2015 නොවැම්බර් මස 13 වන දින ලබා ගැනිමෙන් අනතුරුව පුද්ගලික සමුද්‍රයීය ආරක්ෂක සමාගමකින් එක් මෙහෙයුමක් සදහා අය කිරිම ඇමරිකානු ඩොලර් 2500 ක් දක්වා අඩු කරන ලදි.

මෙම අඩු කිරිම නාවික හමුදාවේ / නාවික හමුදාධිපතිගේ අත්තනෝමතික ක්‍රියාවක් වන අතර එමගින් ලංකාවට ලැබෙමින් තිබු ඇමරිකානු ඩොලර් මිලියන 1.25 ක මුදලක් එක් මසකට අහිමි වූ අතර, ඒ අනුව වර්ෂයකට ඇමරිකානු ඩොලර් මිලියන 15 ක මුදලක් අහිමි විය.

නාවික හමුදාධිපති වගකිව යුතුයි :

ඒ අනුව එක් මෙහෙයුමක් සදහා ලබා ගන්නා ලද මුදල අඩු කිරිම නිසා රුපියල් මිලියන 2000 ක පමණ විදේශ විනිමයක් වසරකදී ශ්‍රී ලංකාවට අහිමි විය.

මෙය ලංකාවට විශාල පාඩුවක් වන අතර මෙම පාඩුවට නාවික හමුදාධිපති ඝෘජුවම වගකිව යුතුවේ.

එසේ අඩු කිරිමේ වාසිය වෙනත් ප්‍රධාන පෙළේ ජාත්‍යාන්තර සමුද්‍රාරක්‍ෂක සමාගම් 4 ක් විසින් ලබාගත් අතර, මෙසේ කිරිමට හේතුව වී ඇත්තේ එම සමාගම් සමග ඇති කරගත් අන්නෝන්‍ය සුහදතා මතද යන්න පිළිබදව මා හට සාධාරණ සැකයක් ඇත.

මේ පිළිබදව ස්වාධීන පරික්ෂණයක් සිදු කළ යුතු බව මා ප්‍රකාශ කර සිටිමි.

නාවික හමුදාව විසින් පසුගිය වසර තුළ මෙම ව්‍යාපෘතිය මගින් උපයා ගෙන ඇත්තේ රුපියල් බිලියන 2.33 කි. නමුත් ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් පුද්ගලික සමාගම විසින් ගාල්ල පාවෙන අවි ගබඩා ව්‍යාපෘතියෙන් රුපියල් බිලියන 4.56 ක විදේශ විනිමයක් වසරකදී උපයන ලදි.

මෙම මුදලින් සියලු වියදම් හැර රජය වෙත එනම් නාවික හමුදාවට සහ රක්නා ආරක්ෂක ලංකා සමාගම වෙත රුපියල් බිලියන 3.7 ක මුදලක් අප සමාගම විසින් ගෙවා ඇත.

තවද මෙම ව්‍යාපෘතිය නාවික හමුදාව වෙත පවරා ගැනිමෙන් අනතුරුව මසකදි කරන ලද මෙහෙයුම් ප්‍රමාණයද විශාල වශයෙන් අඩුවිය.

එබැවින් පසුගිය වර්ෂය තුළදී ශ්‍රී ලංකාවට අහිමි වූ මුළු විදේශ විනිමය රුපියල් මිලියන 2000ක පමණ මුදලකි.

එබැවින් ශ්‍රී ලංකා රජයට වසරකදි අහිමි වූ මුලු මුදල රුපියල් මිලියන 1869 කි. මෙම පාඩුව සදහා නාවික හමුදාව / නාවික හමුදාධිපති ඝෘජූවම වගකිව යුතුවේ.

සතයක්වත් වියදම් නොකර:

ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සමාගම විසින් මෙම ව්‍යාපෘතිය කර ගෙන යන ලද්දේ රජයේ මුදල් සතයක්වත් වියදම් නොකර වන අතර සියලුම වැටුප් ප්‍රවර්ධන කටයුතු ඇතුලු සියලුම වියදම් ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සමාගම විසින් දරන ලදි.

තවද මෙම වකවානුවේදි නාවික හමුදාවෙන් ලබා ගන්නා ලද සියලුම සේවා සදහා ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සේවා සමාගම විසින් නාවික හමුදාවට මුදල් ගෙවන ලදි.

නමුත් වර්තමානයේදි නාවික හමුදාව විසින් මෙම ව්‍යාපෘතිය කර ගෙන යනු ලබන්නේ නාවික හමුදාවේ මානව සම්පත් සහ භෞතික සම්පත් සියල්ල උපයෝගි කරගෙන රජයේ මුදල් වැය කරමිනි. එම නිසා එමගින්ද රජයේ දේපල සහ මුදල් විශාල ලෙස වැයවන බැවින් ලබා ඇති පාඩුව තවත් අධික වේ.

මෙම ගාල්ල පාවෙන අවි ගබඩා ව්‍යාපාරය ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සේවා සමාගම විසින් සිදු කරන විට විශ්‍රාමික රණවිරුවන් 4000 කට පමණ ප්‍රමාණයකට රැකියා අවස්ථා ලැබුණි.

රණවිරු පවුල් අනාතයි :

එනමුත් නාවික හමුදාව විසින් මෙම ව්‍යාපාරය පවරාගැනීමෙන් පසු එම සියලු රැකියා අවස්ථා අහිමි විය.

ඒ හේතුවෙන් එම සියලු රණවිරු පවුල් ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇති අතර විශාල සමාජමය ගැටලුවලට මුහුණ දෙමින් සිටි.

එබැවින් ඉහත කී සියලුම කරුණු දත්ත සහ පවතින ලියකියවිලි අනුව ඉදිරිපත් කරන ලද අතර ඕනෑම අවස්ථාවකදි ඉහත ප්‍රකාශිත කරුණූ සනාථ කිරිම සදහා මා ඉතාමත් කැමැත්තෙන් ඉදිරිපත් වනු ඇත.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top