nsb

Nov 19, 2016

'මන්ත්‍රීවරුන්ට වාහනයක්‌ දීම වරදක්‌ද ?' - රවි අසයි

ආණ්‌ඩුවේ වැඩ කරන මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම වරදක්‌දැයි මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (18 දා) පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය.

''ඇමැතිවරුන්ට වගේ මන්ත්‍රීවරුන්ට වාහන ලැබෙන්නේ නෑ. මේ මන්ත්‍රීවරුන්ට කල්බදු ක්‍රමය යටතේ ලබා දෙන වාහන සඳහා කෝටි 273 ක්‌ වැය කරන්නේ පෞද්ගලික අංශයෙන්. ඒ තුළින් ආණ්‌ඩුවට වැට්‌ බදු ලෙස කෝටි 253 ක්‌ යළි ලැබෙනවා යෑයිද රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

කල්බදු ක්‍රමය යටතේ රුපියල් කෝටි 293 ක්‌ වැය කරමින් ඇමැතිවරුන් නොවන මන්ත්‍රීන් පනස්‌අටදෙනකුට මාසික කුලී පදනම මත වාහන ලබාදීමට රජය තීන්දුවක්‌ ගෙන ඇතැයි පවසමින් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (17 දා) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු දුන් මුදල් ඇමැති රවි කරුණානායක මහතා මෙසේ ද කීවේය.

''කල්බදු ක්‍රමය යටතේ අවුරුදු පහක කාලයකට වාහන කුලියට ගැනීමට ඇමැති මණ්‌ඩලය නොවැම්බර් 01 දා අනුමැතිය ලබාදී තිබෙනවා. මෙම ක්‍රමයට වාහන ප්‍රසම්පාදනය කිරීම කල්ගතවන නිසා එතෙක්‌ අදාළ මන්ත්‍රීවරුන්ට මසකට රුපියල් ලක්‍ෂ දෙකක ප්‍රවාහන දීමනාවක්‌ ගෙවීමටත් ඇමැති මණ්‌ඩලය පසුගිය ජුනි 21 දා අනුමැතිය දී තිබෙනවා.

රජයට බරක්‌ නොවේ :

මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහනයක්‌ මිලදී ගැනීමේදී වාහනයේ රක්‌ෂණ ආදායම් බලපත්‍ර ගාස්‌තු හා අලුත්වැඩියා වියදම එම වාහන සැපයුම්කරු විසින් දරනවා. එය රජයට බරක්‌ නොවේ.

සාමාන්‍යයෙන් රජය ජීප් රථයක්‌ මිලට ගැනීමේදී රුපියල් මිලියන 33 ක්‌ ගෙවිය යුතුයි. ඉන් මිලියන 25 ක්‌ බදු ලෙස රජය වැයකර ගන්නවා. කල්බදු ක්‍රමය මත ජීප් රථයක්‌ මාස හැටකට ලබා ගැනීමේදී එකකට රුපියල් මිලියන 35.4 ක්‌ ගෙවිය යුතුයි. වසර පහ අවසානයේදී මේ අනුව වැඩිපුර මිලියන 2.4 ක්‌ ගෙවනවා. වාහනය අලුත්වැඩියා, රක්‌ෂණ වියදම් දරන්නට සැපයුම්කරුට සිදු වන්නේ මේ රුපියල් මිලියන 2.4 තුළින්.

මේ අනුව කල්බදු ක්‍රමයට වාහනයක්‌ මිලට ගැනීම රජයට වාසියි. එකවර රුපියල් මිලියන 33 ක්‌ ගෙවා රජය වාහනයක්‌ මිලට ගන්නේ නම් රජයේ මුදල් ප්‍රමාණයට බලපෑමක්‌ සිද්ධ වෙනවා. ධුරය අවසන් වෙද්දී මන්ත්‍රීවරු වාහන යළි භාර නොදීමේ ගැටලුවත්. මෙම කල්බදු ක්‍රමය යටතේ මඟහැරෙනවා.

මෙසේ ලබාගත් වාහනයක්‌ අලුත්වැඩියා කරද්දී ඒ වෙනුවට ඒ හා සමාන වාහනයක්‌ සැපයුම්කරු විසින් අදාළ මන්ත්‍රිවරයාට ලබා දිය යුතුයි. ඒ නිසා අලුත් වාහන සැපයීමට රජයට අවශ්‍යතාවක්‌ නෑ.

මිලියන 89000 ක්‌ ඉතිරිකරගත්තා :

මෙම වැඩපිළිවෙළ පසුගිය වසරේදීත් රජය ක්‍රියාත්මක කළා. ඒ අනුව රුපියල් මිලියන 89000 ක්‌ ඉතිරිකරගන්න රජයට හැකිවුණා. එනිසා සියලුම අමාත්‍යාංශවලට මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන ගැනීමට අනුමැතිය දී තිබෙනවා. ඇගමැතිවරයා, ජනාධිපතිවරයා හැර අනෙක්‌ සියලු දෙනාට මේ ක්‍රමවේදය අනුගමනය කරනවා.

ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන් සහ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අතර වෙනසක්‌ තිබෙනවා. ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන්ට වැඩ කරන්න තියෙනවා. වැඩකරන මන්ත්‍රීවරුන්ට කාර් එකක්‌ දෙන එක වරදක්‌දැයි ''රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top