nsb

Nov 19, 2016

අනුරාධපුර අසපුව බලෙන් අල්ලපු එකක් Featured

පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ අසපු ශාඛාවක් ඉදිකිරීම සඳහා අනුරාධපුර සමෘද්ධිලාභී පස්දරු මවකට අයත් ඉඩමක් බලහත්කාරී ලෙස අත්පත් කරගෙන ඇත.

මෙසේ අත්පත් කරගෙන ඇත්තේ අනුරාධපුර ලෝලුගස්වැව වටවන්දනා පාරේ පිහිටි අක්කර දෙකක භූමියකි.

1980 වර්ෂයේ වාර්ෂික බලපත්‍රයක් මඟින් රජය මෙම ඉඩම ලබා දී ඇත්තේ ලෝලුගස්වැව පදිංචි එස්. අමරසේකර නමැත්තාටය.

අමරසේකර මහතාගේ බිරිඳ කේ. සුමනසීලී මහත්මිය පස්දරු මවක වන අතර අදාළ ඉඩමේ ‘ධම්ම චේතිය’ නමින් අසපුවක් ඉදිකර ඇත්තේ කිරිබත්ගොඩ ඥානානන්ද හිමිගේ මැදිහත්වීමෙනි.

1980 බලපත්‍රයක් මඟින් අදාළ පවුලට ලබා දුන් ඉඩමේ නිවසක් ඉදිකර ඇත්තේ 1986 වර්ෂයේ ය.

ඒ සඳහා නිවාස සංවර්ධන අධිකාරිය සහන පොලී මත ණය මුදලක් ද ලබා දී තිබිණි.

හිමිනම කාරුණික වී නැහැ :

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මවගේ නිවසේ රැඳී සිටි කාලය තුළ ලෝලුගස්වැව ඉඩම තාවකාලික වැඩපලක් පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාරිකයකුට ලබා දී තිබූ අතර අදාළ ව්‍යාපාරිකයා මිය යාමෙන් පසුව ඔහුගේ ඥාති පුත්‍රයකු මෙම ඉඩම කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ට විකුණා ඇති බව දැන ගන්නට ඇත.

ඉඩමේ නිරවුල් අයිතිය කේ. සුමනසීලි මහත්මියට සහ එස්.අමරසේකර මහතාට බව පෙන්වා දෙමින් ඔවුහු කිරිබත්ගොඩ ඥානානන්ද හිමිට මේ පිළිබඳව කරුණු පැහැදිලි කළත් උන්වහන්සේ ඉඩම ලබා දීමට කාරුණික වී නැත.

අවසානයේ මේ අවනඩුව සමථමූල මණ්ඩලයට යොමු කිරීමෙන් පසුව අදාළ හිමිකරුවන්ට ඉඩම ලබා දෙන්න යැයි කිරිබත්ගොඩ ඥානානන්ද හිමිට දැනුම් දී ඇත.

එහි දී පැමිණිලිකාරියට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවීමට තමන් එකඟ බවත් ඉඩම යළි ලබා දීමට නොහැකි බවත් ඥානානන්ද හිමි පවසා ඇත.

උසාවි නියෝගයට පයින් ගහලා :

බලහත්කාරී ලෙස තම ඉඩම අත්පත් කර ගැනීමට එරෙහිව සුමනසීලී මහත්මිය අනුරාධපුර දිස්ත්‍රික් උසාවියේ අංක 22216/L යටතේ නඩුවක් ගොනු කළාය.

එම නඩුවේ තීන්දුවෙන් කියා ඇත්තේ පැමිණිලිකාරියට අයත් ඉඩම සහ දේපළ ඇයට හිමි බවයි.

විත්තිකරුවන් අධිකරණයට කරුණු දැක්වීම මඟහැර තිබූ අතර දිසා අධිකරණ තීන්දුවෙන් පසුව අසපුවාසී භික්ෂුව උතුරුමැද පළාත් බද සිවිල් අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි.

අභියාචනා අධිකරණය තීන්දු කර ඇත්තේ ද පැමිණිලිකරු පාර්ශ්වයට මෙම ඉඩමේ නිරවුල් අයිතිය ඇති බවයි.

අධිකරණ තීන්දුවලින් පසුව පැමිණිලිකාරියට ඉඩම බාරදීම සඳහා රෙජිස්ටාර්වරයා අදාළ අසපුවට ගියත් අසපුවාසී භික්ෂූන් කියා ඇත්තේ අවට ඉඩම් මිලදී ගෙන ඇති බැවින් ඉඩමේ මායිම් වෙනස් වී ඇති නිසා ඉඩම බාරදිය නොහැකි බවයි.

පැමිණිලිකාරියට ඉඩමේ නිරවුල් අයිතිය හිමි කර දිය යුතු බවට තීන්දු කර අධිකරණ කටයුතු අවසන් කෙරී ඇතත් අසපුවාසී භික්ෂූන් පැමිණිලිකාරියට ඉඩම ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.

(දයා නෙත්තසිංහ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top