Sep 13, 2017

එක්සත් ජාතීන් ගෙන් ශ්‍රී ලංකාවට රතු එළියක් !

යුද පීඩිත ජනතාවට යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් දී ඇති ප්‍රතිඥා ඉටු නොකරන්නේ නම් ජාත්‍යන්තර අධිකරණයක් හමුවට ශ්‍රී ලංකාව ගෙනයාම අත්‍යාවශ්‍ය වනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ දෙවසරකට  ඉහතදී ගිවිස ගත් පරිදි යුද අපරාධ ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් පියවර ගත යුත්තේ රටේ ජනතාව වෙනුවෙන් විනා ‘ජගත් මණ්ඩලය සැනසීමට’ නොවන බව ජිනීවා නුවර මුළුදෙන 36 වැනි මානව හිමිකම් සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස්වරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවද හවුල්වී 2015 දී සම්මත කරගත් ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම සඳහා වන යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සිංහල ජාතිකවාදී බලවේග විසින් හෙලා දැක ඇත්තේ විදේශීය බලවේග වල අවශ්‍යතාව සඳහා රට පාවාදීමට තබන ලද පියවරක් ලෙසිනි.

එහෙත් ජිනීවා යෝජනාවේ දැක්වෙන පරිදි සංක්‍රාන්තික යුක්ති යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ පුරවැසියන්  වෙනුවෙන් ඉටුකළ යුතු වගකීමක් බව අවධාරණය කළ ජගත් මානව හිමිකම් ප්‍රධානියා ඉල්ලා සිටියේ ඒ සඳහා ‘පැහැදිලි කාලසටහනක් හා මිණුම් දඬු’ සකස් කරන ලෙසයි.

ශ්‍රී ලංකාව 2015 දී ගිවිසගෙන ඉටු නොකළ පොරොන්දු වෙනුවෙන් තවත් අවුරුදු දෙකක් කල්  දීමට ජාත්‍යන්තර බලවතුන් තීන්දු කළේ මේ වසරේ මාර්තුවේය.

“කොටු පිරවීම”

tamilmother protesting“මෙය තම රටේ සකල ජනතාවට අයිතිවාසිකම් උරුම කරදීම සඳහා බාරගත් අනිවාර්ය වගකීමක් මිස, කොටු පුරවමින් මණ්ඩලය සනසන අභ්‍යාසයක් ලෙස ආණ්ඩුව විසින් නොදැකිය යුතුය,” යි මහ කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් කියා සිටියේය.

නීතිගත කොට වසරකට වැඩි කලක් ගතවී ඇති අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලය (OMP) වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි සෙයිඩ් කුමාරයා, ඒ ඇතුළු යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සම්බන්ධ පොරොන්දු ඉටු නොවීම නිසා අතෘප්තියට පත් ආණ්ඩුවට ඡන්දය දුන් දෙමළ ජනතාව මාස ගණනක් තිස්සේ අඛණ්ඩ අරගලයක් දියත් කොට ඇති බවද ජගත් සමුළුව හමුවේ සිහිපත් කොට දුන්නේය.

“උතුරේ පීඩිතයන් යෙදී සිටින විරෝධතා වලින් පෙන්නුම් කෙරෙන්නේ ප්‍රතිසංස්කරණ වල මන්දගාමී බව නිසා එන්න එන්නම වැඩිවෙන පීඩිතයන් ගේ කලකිරීම,” යයි මහ කොමසාරිස්වරයා පැවසීය.

“ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ ජාත්‍යන්තර මානවීය නීතිය උල්ලංඝනය  කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වගවීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විශ්වසනීය ක්‍රියාමාර්ගයක් නැති තැන ජාත්‍යන්තර අධිකරණ බලතල යොදාගැනීමේ අවශ්‍යතාව වඩාත් දැඩිවෙයි,” යනුවෙන් ඔහු බරපතල අනතුරු ඇඟවීමක් කළේය.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතලිහක මානව හිමිකම් තත්වය සිය සමාරම්භක දේශනයේදී සභාවේ අවධානයට ලක් කළ මහ කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් විසින් ජාත්‍යන්තර තත්වය හඳුන්වන ලද්දේ “අඳුරු හා වඩාත් බියජනක” එකක් ලෙසිනි.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top