Sep 13, 2017

දුම්වැටි බෙදාහරින රථය කොල්ලකෑ අයට වැඩ වරදියි

දුම්වැටි බෙදාහරින රථයක් කොල්ල කෑ පුද්ගලයන්ව ගාල්ල හබරාදුව බෝගහගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ දී දිවා ආහාරය සදහා නවතා තිබු දුම්වැටි බෙදාහරින රථය සුදු පාට ඇල්ටෝ වර්ගයේ රථයකින් මුහුණු ආවරණය කර ගනිමින් පැමිණි මංකොල්ල කරුවන් හය දෙනෙකු විසින් කොල්ල කා ඇත.

අදාල කොල්ලකරුවන් කොල්ලය කා නැවත පැමිණෙන අවස්ථාවේ කොල්ලකරුවන්ගේ මෝටර් රථයේ  පුද්ගලයෙකු ගැටී ඇත.

සිදු වු මෙම අනතුර නිසා කලබල වු කොල්ලකරුවන් මෝටර් රථයට හැපුණු පුද්ගලයා සිය රථයට දමාගෙන නැවත යාමට උත්සාහ කරන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු මෝටර් රථයේ යතුර සියතට ගෙන ඇත. පසුව ඒ පසු පසින් පොලිසිය ද පැමිණ ඇති අතර පොලිසිය එම මෝටර්රථය දුම්වැටි බෙදාහරින රථය මංකොල්ල කෑ පිරිස පැමිණි රථය බව හදුනාගෙන ගෙන ඇත.

පසුව කොල්ල කරුවන් එම ස්ථානයෙන් පැන දුවන්නට තැත් කර ඇති අතර පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහය ඇති කොල්ලකරුවන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම අවස්ථාවේ දී තවත් කොල්ලකරුවන් 02 නෙකු පැනගොස් ඇත. අත්අඩංගුවට ගන්නා ලද මංකොල්ල කරුවන් පැමිණි මෝටර් රථයේ තිබී කඩු තුනක්, හොකී පිති 02 ක් හා මුහුණු ආවරණය කරන හෙල්මට්, සහ කොල්ලකන ලද ලක්ෂ පහලොස් ලක්ෂ හැත්තෑ එක්දහස් හත්සිය එකොලක මුදලක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මංකොල්ල කරුවන් පැමිණි රථයට හසු වු පුද්ගලයා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 නිමල් අල්ගෙවත්ත
හබරාදුව වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top