nsb

Nov 20, 2016

ඕස්ට්‍රේලියාවෙන් ඉඩම් මිලදී ගත් අමාත්‍යාංශ ලේකම් ?

පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ අමාත්‍යාංශයක ලේකම් ධුරයක් දැරූ නිලධාරියෙකු අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 462කට අධික මුදලක් වැය කර ඕස්ට්‍රේලියාවේ විකටෝරියා ප්‍රාන්තයේ නිවාස සහිත ඉඩම් කැබලි හතරක් මිලදී ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි  පසුගියදා ඇතැම් මාධ්‍යය වාර්තා කළ අතර එම නිලධාරියා කවුරුන්ද යන්න පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය විසින් ලබාගෙන ඇති අධිකරණ නියෝගයකින් හෙළිදරව් වේ.

ඔහු මහින්ද රාජපක්ෂ සමයේ විදුලිබල අමාත්‍යාංශයේ ලේකමවරයා ලෙස කටයුතු කළ එම්.එම්.සී. පර්ඩිනන්ඩස් මහතා බව ඒ අනුව අනාවරණය වේ.

මෙම ඉඩම් මිලදීගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය විසින් හිටපු ලේකම් එම්.එම්.සී. පර්ඩිනන්ඩස් මහතාට විදේශ ගමන් තහනම් කරමින් උක්ත අධිකරණය නියෝගය ලබා ගෙන ඇත.

නොරොච්චෝලේ බලාගාරය :


2008 සහ 2010 වර්ෂවලදී මෙම දේපළ මිලදීගෙන ඇත්තේ ඔහුගේ පුතාගේ සහ බෑණාගේ නම්වලට බවට පරීක්ෂණ පවත්වන කණ්ඩායම් හෙළිදරව් කරගෙන තිබේ.

මේ අතර ඔහු විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියදී නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමේ කටයුතු සිදුකිරීම්වලට අදාළව සිදුකරන ලද වංචාවක් සම්බන්ධයෙන්ද පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය විසින් පරීක්ෂණ පවත්වා ඇත.

අදාළ පරීක්ෂණ වාර්තාවක්ද මීට මාස පහකට පමණ ඉහතදී නීතිපතිවරයා වෙත යවා ඇති බවද දැනගන්නට තිබේ.

අයථා ලෙස උපයාගත් මුදලින් මෙම දේපළ මිලදී ගැනීම මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් වන හෙයින් මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පැවසේ.

ඔහු විදේශගතවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් ලබාගත්තද ඔහු රට තුළ සිටිනවාද නැතහොත් දැනටමත් විදේශගතවී ඇතිද යන්න පිළිබඳව කරුණු අනාවරණය වී නැති අතර ඒ පිළිබඳව විමර්ශන කණ්ඩායම් පරීක්ෂණ පවත්වමින් සිටින බවද වාර්තා වේ.

(slguardian)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top