Nov 20, 2016

'ආණ්ඩුව හොරුත් සමග ඩීල් දාන යුගයක්’ (වීඩියෝ) Featured

පසුගිය පාලන සමයේ කරන ලද  අපරාධ වලට වගකිව යුත්තන් සමග රහසිගත ගනුදෙනු පවත්වාගෙන යන බවට මේ රජය බලයට පත් කිරීමට වෙහෙසගත් සංවිධානයක් 'මෛත්‍රී-රනිල් පාලනය' දැඩි දෝෂ දර්ශනයට ලක් කරයි.

සොරකම්, වංචා සහ මිනීමැරුම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සහ මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවී ඇත්තේ එම ‘ඩීල්’ නිසා බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ව්‍යාපාරය හෙවත් කැෆේ  සංවිධානය කියා සිටියි.

“අපි වත්මන් ආණ්ඩුවේ දෙවැනි වසර සමරන්නේ වංචනිකයන්, හොරුන් සමග ආණ්ඩුව ඩීල් දමාගනිමින් සිටින යුගයකයි,” යනුවෙන්  කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කොළඹ පැවති දුෂණ විරෝධී රැළියකදී ප්‍රකාශ කළේය.

 රජයේ මැති ඇමතිවරුන් කිහිපදෙනකුගේද සහභාගිත්වයෙන් ‘අගත අනගත දුෂිතයන්ට එරෙහිව’ මැයෙන් 18 දා නිදහස් චතුරශ්‍ර භූමියේ පැවති රැළිය ඇමතූ කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා, යුක්තිය ස්ථාපිත කොට දුෂණය, වංචාව තුරන් කිරීමට වත්මන් පාලනය පියවර ගනු ඇතැයි පැවති අපේක්ෂාව වියැකී යන බවට කනගාටුව පල කළේය.


විශේෂ අධිකරණ :


 දුෂණ වංචා හෙළි කරන, යුක්තිය ඉල්ලා සිටින සංවිධාන සහ ජනමාධ්‍ය පාර්ලිමේන්තු වරප්‍රසාද මුවාවෙන් මර්දනය කිරීමේ උත්සාහයක්ද දැරෙන බව ඔහුගේ චෝදනාවක් විය.

 “එදා හොරුත්, මෙදා හොරුත් ‘හොරු ඇල්ලීමේ ව්‍යාපාරය’ ව්‍යවස්ථා සංශෝධනයෙන් වහන්න හදනවා. ජනමාධ්‍ය මර්දනයට පාරම්බානවා,” යි ඔහු කියා සිටියේය.

 “මේ රටේ ජනතාව හොරුන් රැකීමේ ක්‍රියාවලිය, හොරුන් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ඉවසන්නට සුදානම් නෑ.  හොරුන් සමග දඩයමේ යාම තවදුරටත් ඉවසන්නට සුදානම් නෑ.”

 විශේෂ අධිකරණ පිහිටුවා දුෂණ, වංචා සහ මිනීමැරුම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවා දඬුවම් දීමට කඩිනම් පියවර නොගන්නේ නම්, ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවර ගැනීමේ හැකියාවක් රජයට ලැබෙන්නේ නැති බවටද කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අනතුරු ඇඟවීය.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top