nsb

Nov 21, 2016

මූලික අයිතිවාසිකම් : "කලාපයේ ඉදිරියෙන්ම සිටින ව්‍යවස්ථාවක්" Featured

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් සම්බන්ධ කමිටුවේ නිර්දේශ යෝජිත ව්‍යවස්ථාවට ඇතුළත් කෙරුණ හොත් මූලික අයිතිවාසිකම් විෂයයෙහිලා කලාපයේ ඉදිරියෙන්ම සිටින ව්‍යවස්ථාවක් බවට එය පත්වනු ඇතැයි මූලික අයිතිවාසිකම් සම්බන්ධ කමිටුවේ සාමාජික පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

ඔහු එබව සඳහන් කලේ, 'බීබීසී සිංහල සේවය' සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

නව ව්‍යවස්ථා සම්පාදනයට අදාළ අනු කමිටු වාර්තා හයක් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පෙරේදා (නොවැම්බර් 19) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරිණි.

සිවිල් සහ දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ පරාසය පුළුල් කරමින් ජීවත් වීමට ඇති අයිතිය, බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් මිදී සිටීමේ නිදහස, පුද්ගලික ආරක්ෂාව සහතික කිරීම ආදී කරුණු නව නිර්දේශවලට ඇතුළත් බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා කියා සිටියේ ය.


දුබලතා ඇති පුද්ගලයන් :

"ඊට අමතරව අපි යෝජනා කරලා තිබෙනවා සමාජ, ආර්ථික සංස්කෘතික අයිතිවාසිකම්, ළමා, කාන්තාවන් සහ දුබලතා ඇති පුද්ගලයන් සම්බන්ධ අයිතිවාසිකම්. 

ඒ වගේම පරිසරය සම්බන්ධ අයිතිවාසිකම් යෝජනා කොට තිබෙනවා," යනුවෙන් ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.

දුබලතා සහ විශේෂ අවශ්‍යතාවන් සහිත පුරවැසියන් සඳහා වූ සන්නිවේදනය සඳහා වූ අයිතිවාසිකම්, ගෞරවනීය ජීවිතයක් සහතික කෙරෙන අයිතිවාසිකම් සම්බන්ධ කරුණු අදාළ නිර්දේශ තුළ දීර්ඝ වශයෙන් සඳහන් කොට ඇති බව ආචාර්යවරයා සඳහන් කළේය.

Allmasses 600px 16 11 21

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටද සමාජයේ අනෙක් සියලු ජනකොටස්වලට හිමි අයිතිවාසිකම් ඒ හා සමාන ලෙසින් භුක්ති විඳීමට අවස්ථාව හිමි විය යුතුය යන්න කමිටුවේ තවත් නිර්දේශයකි.

විවිධ ජන කොටස් වෙසෙන රටක් වශයෙන් ඔවුන්ගේ ආගමික සහ භාෂා ඇතුළු සියලු අනන්‍යතාවයන් ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් සිය කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කර ඇති බව කියා සිටි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා, "සෑම පුද්ගලයකුටම තනිව හෝ අන් අය සමග එක්ව තම සංස්කෘතිය භුක්ති විඳීම හෝ ප්‍රවර්ධනය කිරීම සහ කැමති භාෂාවක් කතා කිරීමට ඇති අයිතිය පිළිගැනීම යෝජනා කොට තිබෙනවා," යනුවෙන් වැඩිදුරටත් පැවසීය.


(බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top