Nov 21, 2016

"ජාතිවාදය ඇවිස්සීමේ උවමනාවක් නැහැ" - විජේදාස

ශ්‍රී ලාංකිකයන් පිරිසක් සිරියාවට ගොස් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සමග එක් වී ඇතැයි තමන් විසින් සිදු කරන ලද ප්‍රකාශය පිටුපස ජාතිවාදය ඇවිස්සීමේ උවමනාවක් නොතිබුණු බව අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍ය විජේදාස මහතා රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ  (20) මහනුවරදී මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එබව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රභූ පවුල් හතරකට අයත් 32 දෙදෙනකු සිරියාවට ගොස් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට බැඳී ඇතැයි අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරනු ලබන නායකයන්ගේ සහ දේශපාලනඥයන් කීප දෙනෙකුගේ විරෝධය පල වී තිබිණි.


ජාතිවාදීන්ට අනුබල දීමක් :


ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මීට වසරකට පෙර පළවූ මාධ්‍ය වාර්තාවකට අදාළ කරුණු බව පෙන්වා දෙන 'ශ්‍රී ලංකා මුස්ලිම් සභාව' විසින් එම ප්‍රකාශය හඳුන්වනු ලැබුවේ ජාතිවාදීන්ට අනුබල ලබා දෙන ප්‍රකාශයක් ලෙසය.

අධිකරණ අමාත්‍ය වරයා රටේ සාමයට බාධා වන ප්‍රකාශ සිදු කරන බව පවසන 'ශ්‍රී ලංකා මුස්ලිම් සභාව', ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් පිරිසක් සිරියාවේදී ඉස්ලාම් අන්තවාදී  සංවිධානයකට බැඳී ඇති බවට විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා කරන චෝදනාව රට විනාශ කිරීමේ අවශ්‍යතාවෙන් පෙලෙන ජාතිවාදීන්ට අනුබල දීමක් බව කියා සිටියි.


කරුණු සඟවා සිටීමේ භයානක තත්වය:


කෙසේවුවද, ඊයේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා, කරුණු සඟවා සිටීමෙන් ඇතිවිය හැකි භයානක තත්වය පිළිබඳ අවධානය යොමු කොට අයිඑස් කැරලිකරුවන් හා සම්බන්ධ කරුණු හෙළිදරව් කිරීමට පියවර ගත් බව පැවසීය.

“ඒ පිළිබඳව කියවෙන්න ඕනේ සියළු දේ මම පාර්ලිමේන්තුවේ මගේ ප්‍රකාශයේදී සිද්ධ කළා. අපි බොහෝම සද්භාවයෙන් මේ තොරතුරු හෙළිදරව් කළේ. මේවා සඟවා තබාගැනීම තුළ ඇතිවෙන්නට ඉඩ තිබෙන භයානක තත්ත්වයන් වළක්වා ගැනීම පිණිස මිස ජාතිවාදය ඇවිස්සීමට නොවෙයි”  යයි ඇමතිවරයා කීය.


බුදු දහමට ඇති ප්‍රමුඛස්ථානය:


ඇමතිවරයා සිය ප්‍රකාශය සාධාරණීකරණය කරමින් වැඩිදුරටත් කියා සිටියේ ත්‍රස්ත ක්‍රියා මර්දනය කිරීමේ අරමුණින් විදෙස් රටවලට අයත් ජාත්‍යන්තර මට්ටමේ මාධ්‍ය පවා අයිඑස් සංවිධානයට බැඳුනු පුද්ගලයන්ගේ තොරතුරු ප්‍රසිද්ධියට පත් කරන බවය.

බුදු දහමට ඇති ප්‍රමුඛස්ථානය වෙනස් නොකරන බව ද මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.


සබැඳි පුවත් :

අධිකරණ ඇමැතිට මුස්ලිම් කවුන්සිලයේ විරෝධය

ශ්‍රී ලංකාවෙන් 32ක් IS සංවිධානයට එකතුවෙලා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top