Sep 22, 2017

නව ව්‍යවස්ථා යෝජනා ගැන TNA ස්ථාවරය මෙන්න !

අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ දැක්වෙන කොන්දේසි වලට ප්‍රධාන පක්ෂ දෙක අනුමැතිය පල කරන්නේ නම් දෙමළ ජාතික සන්ධානයත් (TNA) ඊට එකඟ වීමට සහතික වී තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම සඳහා පත් කළ මෙහෙයුම් කමිටුව අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ රැස්වී නිම කළ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරමින් අග්‍රාමාත්‍යවරයා  දෙමළ ජාතික සන්ධානයේ එකඟතාව හැඳින්වූයේ “පෙර නොවූ විරූ පියවරක් ඉදිරියට තැබීමක්” ලෙසය.

උදාවී ඇත්තේ ඓතිහාසික වශයෙන් වටිනා අවස්ථාවක් බවට උද්දාමයට පත්ව සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම විපක්ෂනායක ආර් සම්බන්ධන් මහතා ද කියා සිටියේ එය ගිලිහී යන්නට ඉඩ දිය නොහැකි බවයි.

“දෙමළ ජාතික සන්ධානය පෙර නොවූ විරූ පියවරක් ඉදිරියට තබමින් මේ අතුරු වාර්තාවේ ඇතුළත් කොන්දේසිවලට ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පක්‍ෂ දෙක එකඟ වන්නේ නම් තමන් ද එකඟ වන්නට කැමති බව කියා තිබෙනවා,” යි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

බලය බෙදීම :

අගමැතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන් පරිදි ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාමට නිර්දේශ කර ඇති අතුරු කමිටු වාර්තාවේ බලය බෙදීමේ මූලධර්ම ද ඇතුළත් වෙයි.

එකී මූලධර්ම පළාත් මහ ඇමතිවරුන්ගේ නිර්දේශ පදනම් කර ගෙන සකස් කොට ඇතැයි කී මෙහෙයුම් කමිටුවේ සභාපතිද වන අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර ඇති කරගන්නා එකඟතාවය අනුව රටේ අනාගතය තීරණය වනු ඇති බව අවධාරණය කළේය.

“දශක ගණනාවක් තිස්සේ පැවැති ආතතිය හා භේදභින්න වීම් ඉවත දමා, එකඟතාවක් ගොඩනගා ගැනීමේ අභිලාෂයෙන් බෙදා වෙන් කළ නොහැකි ඒකීය ශ්‍රී ලංකාවක් පිළිගැනීමට සියලූ සාමාජිකයන් සූදානම්. ඒ වගේම වැඩිදුරටත් බලය බෙදීමකට ද සූදානම්,” යයි ඔහු කියා සිටියේය.

“අතීතයේ තිබුණු බෙදුම්වාදී භයානක ස්වරූපයෙන් ඈත්ව අනාගතය කෙරෙහි යොමු වූ නව දිශාවකට ගමන් කිරීම,” අලුත් ව්‍යවස්ථාවෙන් අපේක්ෂා කෙරෙන දේශපාලන වෙනස ලෙස අගමැතිවරයා විසින් ප්‍රකාශයට පත් කෙරිනි.

රට නොබෙදීම;

රට නොබෙදන ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී ඉන්නා බව විපක්ෂයේත්, දෙමළ ජාතික සන්ධානයේත් නායකයා පාර්ලිමේන්තුව හමුවේ සහතික විය.

“මෙය සිදු කරනු ලබන්නේ එක්සත්, නොබෙදුනු හා නොබෙදිය හැකි ශ්‍රී ලංකාවක ශක්තිමත් රාමුවක් තුලය,” යි මෙහෙයුම් කමිටු සාමාජිකයකුද වන ආර් සම්බන්ධන් කියා සිටියේය. “අප සියලු දෙනාම ස්වේච්ඡාවෙන්ම අනුමත කොට පිළිගන්නේ ව්‍යවස්ථාව පරිනාමය වන එකී රාමුව මතය.”

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ඉතිහාසය පුරාම බලය බෙදීම සඳහා ඉදිරිපත් කරනු ලැබූ “සෑහෙන සම්මුතියකින් යුත්” යෝජනා කිසිවක් රටේ නීතිය බවට පත් කරනු නොලැබූ බව පෙන්වා දුන් විපක්ෂ නායකයා දෙමළ ජනතාවද හවුල් වන එජාප ශ්‍රීලනිප එකඟතාවකින් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ අවස්ථාවක් මින් පෙර කිසිදාක ශ්‍රී ලංකාවට උදාවී නැති බව අවධාරණය කළේය.

“ව්‍යවස්ථා සම්පාදනයේ වර්තමාන අභ්‍යාසය එහි මුල්ම ඉඩ ප්‍රස්තාව අපට සලසා දෙයි,” යනුවෙන් දෙමළ ජාතික සන්ධාන නායකයා කියා සිටියේය. “එවැනි සබුද්ධික  සම්මුතියක් පදනම් කොටගත් ව්‍යවස්ථාවක් මගින් රටේ බරපතල අවශ්‍යතාවක් ලෙස පවතින රටේ මූලික සහ උත්තරීතර නීතියත්, සුජාත භාවය හා විශ්වසනීයත්වයත්   ව්‍යවස්ථාවට ලබා දෙනු ඇත.”

දෙමළ අයිතිය :

දෙමළ අනන්‍යතාව සහ අභිමානය පිළිගන්නා යුක්තිසහගත සහ පිළිගත හැකි ව්‍යවස්ථා සම්පාදනයක් දිගු කලක් තිස්සේ දෙමළ ජනතාවගේ අරමුණ වූ බව ආර් සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවට සිහිපත් කර දුන්නේය.

අතුරු වාර්තාව සකස් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව 2016 අප්‍රේල් සහ 2017 සැප්තැම්බර් අතර 73 වතාවක් රැස්වී තිබේ.

21 දෙනකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, සුසිල් ප්‍රේමජයන්ත, රිෂාඩ් බදියුදීන්, පාඨලී චම්පික රණවක, ඩී.එම්. ස්වාමිනාදන්, මනෝ ගනේෂන්, මලික් සමරවික්‍රම, ඩිලාන් පෙරේරා, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, අනුර දිසානායක, විජයදාස රාජපක්ෂ, බිමල් රත්නායක, එම්.ඒ. සුමන්දිරන්, ප්‍රසන්න රණතුංග, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ ආචාර්ය තුසිතා විජේමාන්න මැති මැතිණියන් ය.

(radiogagana)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top