nsb

Nov 22, 2016

මේජර් ජනරාල් කමල් ගුණරත්නට එරෙහි විමර්ශනයක් ! Featured

විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සම්බන්ධයෙන් 'යුද හමුදා පනත' යටතේ කටයුතු කල හැකිදැයි සොයා බලා  ජනාධිපතිවරයා වෙත වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියකු නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

එසේම, 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික පනත  අනුව යමින් මොහුට  එරෙහිව පැමිණිලි ගොනු කර නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් පවතින්නේ දැයි සොයාබලන ලෙස ද එමගින් දැනුම් දී ඇත.

පසුගියදා හමුදා සේවයෙන් විශ්‍රාම ගත් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ජාතින් අතර නොසන්සුන්තාවයක් ඇතිකරන ආකාරයෙන් කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරන බවට චෝදනා එල්ලවී තිබේ.

උතුරේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගාල්ලේ පැවති උත්සවයකදී ඔහු කල ප්‍රකාශ ජාතිවාදය උසිගන්වා යලි රාජ්‍ය බලය ලබාගැනීමේ රහසිගත මෙහෙයුමක යෙදී සිටින පරාජිත දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේ කුමන්ත්‍රණයක කොටසක් විය හැකි බවට යුධ හමුදා බුද්ධි අංශ සැක පහල කර ඇත. 


යුද හමුදා පනත ?
ශ්‍රී ලංකා යුද හමුදාව පාලනය වන්නේ, යුද හමුදා පනත මගිනි. එය හඳුන්වන්නේ 1949 අංක 17 දරන 'යුද හමුදා පනත' යනුවෙනි.

සාමාන්‍ය සිවිල් පුරවැසියකු යටත් වන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වන සිවිල් නීතියට පමණයි. නමුත් හමුදා සාමාජිකයන් හමුදා නීතිය සහ සිවිල් නීතිය කියන දෙකටම යටත්වේ.

1949 ට පෙරත් ලංකාවේ යුද හමුදාවක් තිබුණ නමුත් එය පවත්වාගෙන ගියේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන ක්‍රමය තුළයි.

1948 දී අප නිදහස ලැබීමෙන් පසුව, අළුතෙන් පිහිටුවාගත්, ලංකා යුද හමුදාව වෙනුවෙන් මේ පනත සකස්කරනු ලැබිය.  

යුද හමුදා පනත හමුදා සක්‍රිය සේවයේ සියලු දෙනාටම මෙන්ම, හමුදාවෙන් විශ්‍රාම ගිය යුධ හමුදා නිලධාරීන්ට ද විශ්‍රාම ගොස් මාස 6ක්  යන තෙක් මෙම පනත බලපැවැත්වෙන බව පැවසේ.

2010 ජනාධිපතිවරණය කැඳවු අවස්ථාවේදී හමුදා සේවයෙන් විශ්‍රාම ගෙන පොදු අපේක්ෂකයා ලෙස තරඟ කල හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා, ජනාධිපතිවරණයෙන් පසු අත්අඩංගුවට ගනු ලැබුවේද මෙම පනත යටතේය.


එකම කුමන්ත්‍රණයක කොටස්කරුවන් :
උතුරේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවට ගාල්ලේ පැවති උත්සවයකදී විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පෙරේදා (20) වවුනියාවේදී ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේ පැවසිය.

“එහෙම සෑහීමකට පත්වෙන්න බැරිනම් , ඒ තත්ත්වයන් උදාකළේ ඒ අයම තමයි. ඒ අයත්, එදා හිටපු ආරක්ෂක ලේකම්වරුත් වගකියන්න ඕනේ. මම පැහැදිලිවම කියනවා ඔය නොයෙකුත් කල්ලි මේ පළාත්වල සන්නද්ධ කල්ලි හැදීමට මූලිකත්වය දැරුවේ ඔය කියන කට්ටියම තමයි.

ඔය අද ආරක්ෂාව නැහැ කියලා. ඒ කල්ලි යොදවමින් තමයි, මේ අද ඒ ප්‍රකාශ නිකුත් කරන්නේ. මේ එකම කුමන්ත්‍රණයක කොටස්කරුවන්.''


ජාතිවාදයට එරෙහිව නව පනතක් :
මේ අය පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ අනුව, නුදුරේම ජාතිවාදී කොටස්වල ක්‍රියාකාරිත්වය අඩපණ කිරීම සඳහා නෛතිකමය ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට තීරණය කර ඇති බවත්,  ඒ අනුව ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහිව නව පනතක් ගෙන ඒමට රජය  මේ වන විටත් සැලසුම් කර ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.


අත්අඩංගුවට ගන්න :
මේ අතර ජාතිවාදය උසිගන්වන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේවනවිට පොලිස්පතිවරයාට නියෝග කොට තිබේ.

එසේ අත්අඩංගුවට ගැනීමේදී වාර්ගිකත්වය නොතකන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් දුන් බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා භාර අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව, ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා වන අන්දමේ වෛරී ප්‍රකාශ නිකුත් කරමින් මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්‌ මූලස්‌ථානයේ විශේෂ පොලිස්‌ ඒකකයක්‌ ඊයේ (21) සිට ස්‌ථාපිත කර ඇත. 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top