nsb

Nov 22, 2016

ජනපති අණින්, විශේෂ පොලිස්‌ ඒකකයක්‌ ! Featured

ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා වන අන්දමේ වෛරී ප්‍රකාශ නිකුත් කරමින් මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්‌ මූලස්‌ථානයේ විශේෂ පොලිස්‌ ඒකකයක්‌ ඊයේ (21) සිට ස්‌ථාපිත කර ඇත.

මෙවැනි ප්‍රකාශ නිකුත් කරමින් මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා නියෝජ්‍ය පොලිස්‌පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම විශේෂ පොලිස්‌ ඒකකය ඊයේ සිට සිය විමර්ශන කටයුතු ආරම්භ කරන ලදී.

ආගම්වලට ජාතීන්වලට අගෞරව කරන පරිභව කරන ආගම් මුල් කරගෙන මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් පිළිබඳව විමර්ශන පැවැත්වීම මේ වනවිට ආරම්භ කර ඇති බව ද එවැනි ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

ආගම් සහ ජාතීන් අතර ගැටුම් ඇති කර ජාතිවාදී කලබල ඇති කිරීම සඳහා සංවිධානාත්මක කණ්‌ඩායම් උත්සාහ කරමින් සිටින බවට බුද්ධි අංශ වාර්තා කර ඇති  බැවින්, එවැනි පුද්ගලයන් වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට දී ඇති නියෝගයක්  මත මෙම විශේෂ පොලිස්‌ ඒකකය පිහිටුවන ලද බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

එසේ අත්අඩංගුවට ගැනීමේදී වාර්ගිකත්වය නොතකන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් දුන් බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා භාර අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top