Nov 22, 2016

මහින්ද පාලනයේ අපරාධයකට වන්දි ගෙවන්නැයි කැනඩාව කියයි

පසුගිය පාලන සමයේ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් තුන් අවුරුද්දක් රඳවාගෙන වද දෙනු ලැබූ දෙමළ ජාතිකයකු ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ පෙළේ ආයතනයක් ඔහුට වන්දි ගෙවන ලෙස වර්තමාන රජයට දැනුම් දී ඇත.

ත්‍රස්ත විමර්ශන ඒකකයේ (TID) නිලධාරීන් රෝයි මනොජ්කුමාර් සමාදානම් හට 2007 සිට 2010 දක්වා කාලය තුල අත් අඩංගුවේ දී වධහිංසා පැමිණවීම ඇතුළු නොමනා සැලකීම් කළ බව ජිනීවා හිදී තීරණය කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර ප්‍රසිද්ධියට පත් කරන ලෙසද රජයෙන් ඉල්ලා තිබේ.

කමිටුව නිර්දේශ කර ඇති පරිදි ශ්‍රී ලංකා රජය වගකිවයුත්තන්ට දඬුවම් පමුණුවා, පීඩිතයාට ප්‍රමාණවත් වන්දියක් ගෙවිය යුතුය.

“පැමිණිලිකරු අත්තනෝමතික ලෙස අත් අඩංගුවට ගෙන, අමානුෂික ලෙස රඳවා තබාගෙන නොමනා සැලකුම් කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට චෝදනා නගා, නඩු පවරා දඬුවම් කොට ඒ බව ප්‍රසිද්ධියට පත් කරන ලෙස,” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ගගන වෙත එවන ලද තීන්දුවේ දැක්වේ.

කැනඩාවාසී ශ්‍රී ලාංකික දේශපාලන සරණාගතයකු වන රෝයි සමාදානම් ත්‍රස්තවාදය අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔහු 2007 පෙරලා සියරට බලා ගිය අවස්ථාවකදීය.

‘කැනඩා කොටියා’

වෙළෙඳාම සඳහා සිංගප්පුරුවේ සිට ආනයනය කරන ලද දුරකථන 600ක් ළඟ තබා ගැනීම මගින් ‘අධි තාක්ෂණික සන්නිවේදන මෙවලම් ආනයනය’ කිරීමේ වරදට 2007 සැප්තැම්බරයේ මුලින් අත් අඩංගුවට ගන්නා ලද සමාදානම් ට පසුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ චෝදනා නගා ඇත්තේ ප්‍රභූන් ඝාතනයට සැලසුම් කිරීම ගැනයි.

නිදහස් කර යැවීම සඳහා TID ඉල්ලා සිටි අල්ලසක් නොගෙවීම නිසා තමන් ‘කැනඩා කොටියා’ ලෙස අපහාසයට ලක් කරමින් වධ හිංසාවට ලක් කළ බව රෝයි සමාදානම්පැ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ඔහු රඳවා ගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ ‘ජාතික ආරක්ෂාවට තර්ජනයක්’ වීමයි.

අත් අඩංගුවේ සිටියදී කරන ලද වධහිංසා පිලිබඳ දීර්ඝ විස්තරයක් සමාදානම් ජාත්‍යන්තර යුක්තිය සඳහා වන කැනඩා මධ්‍යස්ථානයේ සහායෙන් කමිටුවට කරන ලද පැමිණිල්ලේ දැක්වෙයි.

වෙඩි තබා මරා දමන බවටත්, භාර්යාව දූෂණය කරන බවටත් TID තර්ජනය කළ බව ඔහු එක්සත් ජාතීන්ට පවසා තිබේ.

හයමසක කල් දීමක්:

අවසානයේ, අධිබල විද්‍යුත් උපකරණ තබාගැනීමේ වරද පිළිගෙන රුපියල් පන්ලක්ෂයක දඩයක් ගෙවා 2010 අගෝස්තුවේ නිදහස ලැබූ රෝයි සමාදානම් තම පැමිණිල්ල මුලින්ම ඉදිරිපත් කර ඇත්තේ ජාත්‍යන්තර මානව හිමිකම් පිලිබඳ කැනඩා පාර්ලිමේන්තුවේ කාරක සභාවටයි.

ශ්‍රී ලංකා රජය විසින් රෝයි සමාදානම්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව රජයට හය මසක් කල් දී තිබේ.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පිළිගත් රටවල් එය පිලිපදින්නේදැයි අධීක්ෂණය කෙරෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසිනි.

මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයන්ට කමිටුව වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

ICCPR සම්මුතිය අනුමත කොට ඇති ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ කමිටුවේ නිර්දේශ පිළිපැදීමට බැඳී සිටියි.

TID විසින් සිදුකරනු ලබන වධබන්ධන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජිනීවාහිදී වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවේ දැඩි ප්‍රශ්න කිරීමට ලක්විය.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top