Oct 06, 2017

රුසියානු යුද නැවක් ගැනීමට මුදල් ඇමති විරුද්ධ වී නැහැ ! Featured

රුසියානු යුද නැවක් මිලදී ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කල අවස්ථාවේදී ඊට විරෝධය පළකරමින්, මෙම ගණුදෙනුව ජනතාවගේ අවධානයට ලක්ව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට කොමිටියක් පත් කරන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉල්ලා ඇතැයි ඇතැම් මාධ්‍ය වල පලවී ඇති වාර්තා අසත්‍ය වේ.

මෙම ගණුදෙනුව සඳහා කොමිටියක් පත් කරන ලෙස මුදල් අමාත්‍යවරයා පමණක් ඉල්ලා ඇතැයි පලවී ඇති එවැනි වාර්තා සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී ඇමති මංගල සමරවීර මහතා පැවසුයේ තමන් ඒ වැනි ඉල්ලීමක් නොකළ බවයි.

මුදල් විෂයට අදාලව ඕනෑම අමාත්‍යවරයකු ඉදිරිපත්කරන කැබිනට් පත්‍රීකා සඳහා මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණය අනිවාර්ය වේ.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ද මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණ ඉදිරිපත් කර ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීම මංගල සමරවීර මහතා ප්‍රතික්ෂේප කළේය.

රුසියානු යුද නැවක් මිලදී ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට පසුගියදා කැබිනට් අනුමැතිය ලැබී තිබිණ.

G to G ගනුදෙනුවක් :

මෙම යුධ නැව අත්පත් කර ගැනීම රටවල් දෙකක් අතර ඍජුව කෙරෙන ගණුදෙනුවකි. එය රාජපක්ෂ ආණ්ඩුව විසින් අත්සන් කරන ලද රුසියානු ණයක ඉතිරිය වෙනුවෙන් කෙරෙන මිලදී ගැනීමකි.

මෙම ගනුදෙනුවේදී රුසියානූ ආණ්ඩුවට අයත් JSC Rosoboronexport  යුධ ආයුධ සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත ධුරය ලබා ගැනීම සඳහා ආණ්ඩුවට හිතවත් පුද්ගලයින් තිදෙනෙකු අතර සිදුවූ බල අරගලය හේතුවෙන් මෙයට මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබිණ.

නොවටිනා මුදලකට මෙවැනි පැරැණි යුද නැවක් මිලදී ගැනීම බරපතල අපරාධයක් බව ඇතැම් මාධ්‍ය වාර්තා පලවී ඇති අතර ඒ සම්බන්ධන්යෙන් අදහස් දැක්වූ ජනාධිපති කාර්යාල ප්‍රකාශකයකු පැවසුයේ වියට්නාම් රජය ද පසුගියදා මෙවැනි යුධ නැවක් රුසියාවෙන් මිලදී ගත් බවයි.

මෙම ගනුදෙනුවට අදාලව පලවී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ ප්‍රකාශයක් කරන බවද ඔහු කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top