Nov 22, 2016

පැරණි බයිලාවක් සතියේ ජනප්‍රිය ගීතය වෙලා Featured

බයිලා ගායක නිහල් නෙල්සන් මහතාගේ ගීතයක් සමාජ ජාල අතර සතියේ ජනප්‍රිය ගීතය බවට පත්වී තිබේ.

ඒ “කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ” යන ගීතයයි.

මේ ගීය මේදිනවල ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ “ඔබට තේරුණාද ඔබ කළ පවු දුරදිග නොබලා” යන පද පෙළ නිසාය.

ඉකුත් අය වැයෙන් ජනතාව මත බදු බර වැඩිකිරීම සම්බන්ධයෙන් සමාජ ජාලා තුළ කතිකාවක් ගොඩ නැගී ඇති අතර වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම හේතුවෙන් අදාළ තත්ත්වය ජනතාවට විඳින්නට වූ බව ඒත්තු ගැන්වීමට කොටසක් “ඔබට තේරුණාද ඔබ කළ පවු දුරදිග නොබලා” යන පද පෙළ යොදාගෙන තිබේ.

මේ අතර, ආණ්ඩුවට සහය දක්වන හා රාජපක්ෂ විරෝධී කොටස හිටපු ජනපතිවරයා පරාජයට පත්වීමෙන් පසුව ඔහුගේ පාලන සමයේ සිදුවූ කටයුතු සම්බන්ධයෙන් පසු තැවීම මතු කිරීමට “ඔබට තේරුණාද ඔබ කළ පවු දුරදිග නොබලා” යන්න යොදාගෙන ඇත.

සරත් මුණසිංහ විසින් මේ ගීතය රචනාකර තිබේ.

සම්පූර්ණ ගීතයේ පද වැල මෙසේය

කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ..
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ..
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ..
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ...

අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ..
එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ..
ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ..
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ..

කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා..
බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා..
ගණන දොලොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා..

කිරි දුන්නේ...

මුදල් තන්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ..
අහිංසක සතකුගෙ ඉරණම ඉන්පසු විසදෙන්නේ..
යලිත් ඒ මුදලින් මස් ගෙනැවිත් රසකර කන්නේ..
තමන් විකුණූ ගවයගෙ මස් බව ඔහු නෑ දන්නේ..

ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝ රස සපයන්නේ..
ඉවතලන පොහොරින් මහ එළවළු කොටු සරුවන්නේ..
මෙවන් සතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ..
එවන් පිරිසිදු හදවත් තුල දෙවියන් වැඩ ඉන්නේ..

කිරි දුන්නේ....

ගායනය : නිහාල් නෙල්සන්
සංගීතය : රංජිත් පෙරේරා
පද රචනය : සරත් මුණසිංහ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top