nsb

Nov 23, 2016

'රණවිරු' ජෙනරාල්වරු මෙගා පොලිසියට ! Featured

පසුගිය මාස කිහිපයෙහි හමුදා සේවයෙන් විශ්‍රාම ගිය මේජර් ජනරාල්වරුන් කිහිප දෙනෙකු සිය අමාත්‍යංශය යටතේ ඇති රාජ්‍ය ආයතන කිහිපයක උපදේශකයින් ලෙස බඳවා ගැනීමට මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා  තීරණය කර තිබේ.

 එල්.ටි.ටි.ඊ.යට එරෙහිව යුධ මෙහෙයුම්වලට නායකත්වය දුන් ප්‍රසන්න සිල්වා, ජගත් ඩයස්, කමල් ගුණරත්න වැනි මේජර් ජනරාල් වරුන්ට ගෞරවනීය විශ්‍රාමයාමක් හිමි නොවීම ඔවුනට පමණක් නොව හමුදා සාමාජිකයින්ගේ ද කනස්සල්ලට හේතුවී ඇතැයි චම්පික රණවක අමාත්‍යවරයා පසුගියදා ජනාධිපතිවරයා හමුවී පැහැදිලිකර ඇත.

එසේ කනස්සල්ලට පත්ව සිටින විශ්‍රාමික හමුදා ප්‍රධානින් තමන්ගේ දේශපාල ව්‍යාපෘති වලට ඇඳා ගැනීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 'වියත් මග' කණ්ඩායම කටයුතු කරමින් සිටීම බරපතල දේශපාලන කාරණයක් බවද චම්පික රණවක අමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබේ.

මෙම හමුදා ප්‍රධානීන්ගේ අද්දැකීම් හා දැනුම් අපතේ යාමට නොදී රටේ හා ජනතාවගේ උන්නතියට යොදාගත යුතු බව චම්පික රණවක අමාත්‍යවරයාගේ අදහස වී ඇත.

ඒ අනුව,  චම්පික රණවක අමාත්‍යවරයා පසුගියදා විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා හමුවී සුහඳ සාකච්ජාවක් පවත්වා ඇතැයි ද වාර්තාවේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියේ ඉහල තනතුරුවලට පත්කළ විශ්‍රාමික හමුදා ප්‍රධානින් මේවනවිටත් එහි සේවය කරයි.

මේවනවිට නාගරික සංවර්ධන අධිකාරිය අයත්වන්නේ චම්පික රණවක අමාත්‍යවරයා යටතේ ඇති මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top