Oct 11, 2017

ගම්මන්පිලට රටින් පිටවීම තහනම් - මහාධිකරණ නියෝගයක් Featured

ඔක්තෝබර් මස 17 දා සිට නොවැම්බර් 4 දා දක්වා ඉතාලියේ සංචාරය කිරීමට පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ ඉල්ලීමකට නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ දී අද (11) දැඩි විරෝධය පල කළේය.

ඒ, ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික් මහතාට අයත් ‘ඩිජිටල් නොමිනීස්’ සමාගමෙන් මිලදීගෙන තිබූ ‘පෑන් ඒෂියා’ බැංකුවේ කොටස් මිලියන 4.1 ක් ව්‍යාජ ඇටොර්නි බලපත්‍රයක් හරහා වණික් ඉන් කෝර්පරේෂන් සමාගමට වංචනිකව විකිණීම සම්බන්ධව උදය ගම්මන්පිල මහතාට එරෙහිව සාපරාධී සාවද්‍ය පරිහරණය චෝදනාව යටතේ,

නීතිපති විසින් මහාධිකරණයේ ගොනුකර ඇති 8394 නඩුවේ සාක්ෂි විභාග කිරීම අද(11) ප.ව. 1.00 ට මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ කැදවු අවස්ථාවේදීය.

නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නැමැත්තාගේ සාක්ෂි විමසීම මෙතෙක් අවසන් වී නොමැති නිසා මේ අවස්ථාවේ විත්තිකරු විදේශ ගත වීම සම්බන්ධයෙන් විරුද්ධ වන බව, නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කොළඹ මහාධිකරණයට දැන්විය.

විත්ති පාර්ශවය වරින් වර සිදු කරන මෙවැනි ඉල්ලීම් නිසා නඩු කටයුතු ප්‍රමාද වන බවත් නඩුවේ සාක්ෂිකරු ඕස්ට්‍රේලියාවේ සිට කාලය සහ ධනය වැය කර මෙරටට පැමිණ ඇති බැවින් ඔහුගේ සාක්ෂි ලබා ගැනීම ප්‍රමාද කිරීම අසාධාරණ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසිය.

එහිදී මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ප්‍රකාශ කළේ, සාක්ෂි කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වන තෙක් උදය ගම්මන්පිල මහතාට විදෙස් ගතවීමට කිසිදු නෛතික අවසරයක් නොමැති බවයි.

එබැවින් විත්තිකරු විදේශ ගත වීමට කරන ලද ඉල්ලීම මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා, මීලඟ දින සලකා බැලීමට නියම කළේය.

ව්‍යාජ එකක් වන්නේ කෙසේද ?

ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික් මහතාට අයත්ව තිබූ, මෙට්ල් රීසයික්ලින් කලම්බු ලිමිටඩ් ආයතනය, සිලෝන් ටී ගාර්ඩ්න්ස් ආයතනය, ට්‍රිපල් එස් ආයතනය, සහ තවත් ආයතන කිහිපයකින් උදය ගම්මන්පිල මහතා විසින් වංචනික අයුරින් විකුණා මුදල් උපයාගත් බවටද චෝදනා එල්ලවී ඇත.

මේ කරුණු සම්බන්ධයෙන් අද කැඳවා තිබූ නඩුවේ සාක්ෂි විමසීමේදී විත්තියේ නීතිඥවරුන් දිගින් දිගටම ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතා ගෙන් ප්‍රශ්න කර සිටියේ, ඔහු විසින් ආයතන ඇටෝනි බලපත්‍රය නීත්‍යානුකූල පරිද්දෙන් උදය ගම්මන්පිල මහතාට ලබාදුන්නේ නම් එය ව්‍යාජ එකක් වන්නේ කෙසේදැයි යන්නයි.

දිගින් දිගටම එකම ප්‍රශ්නය විමසීමත්, ඒ ඔස්සේ තර්ජනාත්මක ස්වරූපයක් ස්මතුවීමත් සමඟ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා පවසා සිටියේ, එම කරුණ සම්බන්ධයෙන් අවශ්‍ය සාක්ෂි සහ සටහන් පැහැදිළිව තහවුරු වී ඇති බවයි.

එහෙයින් ඒ සම්බන්ධයෙන් නැවත නැවත විමසීම අත්‍යාවශ්‍ය නොවන බවයි.

ඔස්ට්‍රේලියාවේ නීතියට යටත්ව:

තවද, බ්‍රයන් ෂැඩික් මහතා ගෙන් විත්තියේ නීතීඥයා විමසූයේ, මේ තත්ත්වය පිළිබඳව ඔස්ට්‍රේලියාවේ නීතියට යටත්ව කටයුතු නොකොට ශ්‍රී ලංකාවේ පැමිණිලි කළේ ඇයි ද යන්නයි.

ඊට බ්‍රයන් ෂැඩික් ප්‍රතිචාර දක්වා ඇත්තේ මෙය ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරයක් නොවන බවත්, තමන් විසින් ආයෝජනය කර පවත්වාගෙන ගිය ශ්‍රී ලාංකේය ව්‍යාපාරයක් වීම නිසාවෙන් එය ශ්‍රී ලංකාවේ නීතියට බලපාන හෙයින් මේ වංචාව සිදුකළ උදය ගම්මන්පිල මහතා ශ්‍රී ලාංකිකයෙකු වීම නිසා තමන් ශ්‍රී ලංකාවේ පැමිණිළි කළ බවයි.

ඉතා කෙටි සාක්ෂි විමසීමක් අද සිදුකළ අතර නඩුව ඔක්තොම්බර් මස 17 වන දින ප.ව. 2.30 දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් තීන්දු කෙරිණ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top