15976 BM WEB BANNER 01
Oct 12, 2017

දුම්රිය වර්ජනයේ අලුත්ම තත්ත්වය මෙන්න

තම ඉල්ලීම්වලට විසදුම් ලැබෙන තෙක් දුම්රිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය රියදුරන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් ඊයේ (12) රාත්‍රී 7.30 ට පමණ හදිසියේ මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ, දුම්රිය එන්ජින් සහායකයින් බඳවා ගැනීමේ පටිපාටියේ ගැටළුවක් මුල්කර ගනිමිනි.

මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් සහ මරදානෙන් ගමන් ආරම්භ කිරීමට තිබූ රාත්‍රී තැපැල් සහ නගරාන්තර දුම්රිය සේවා රැසක් අවලංගු කෙරිණ.

උණුසුම් තත්ත්වයක්

Dig2140636

Dig2140665

Dig2140672

හදිසියේ ඇති වූ මෙම තත්ත්වයට ඒ අවස්ථාවේ දුම්රිය ස්ථාන දෙකේ සිටි මගීන් දැඩි විරෝධයක් පළ කල අතර එහිදී කොටුව සහ මරදාන දුම්රිය ස්ථාවල උණුසුම් තත්ත්වයක් මතුවිය.

පවතින තත්ත්වය පාලනය කිරීමට විශේෂ පොලිස් බලඇණියක්ද යොදවා තිබිණ.

දුම්රිය නොමැතිවීම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ගමන් පහසුකම් සැපයීමට බස් රථ සේවා යෙදවීමට දුම්රිය බලධාරීන් පසුව කටයුතු කළේය.

දුම්රිය කිහිපයක් කොළඹට :

මේ අතර දුම්රිය වර්ජනය හේතුවෙන් කොළඹින් පිටත් වන කිසිදු දුම්රියක් මේ වනවිට ධාවනය නොවන බව අද (12) අලූයම කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

කෙසේවෙතත් පොල්ගහවෙල, මහව, හලාවත, අවිස්සාවේල්ල සහ මහනුවර සිට දුම්රිය කිහිපයක් කොළඹට පැමිණීමට නියමිතය.

ඒ අනුව පොල්ගහවෙල සහ හලාවතින් පිටත්වන දුම්රියන් අලූයම 5.30 ට කොළඹට පැමිණීම ආරම්භ කර ඇති අතර මහව දුම්රිය අලුයම 4.45 ට පිටත් වී ඇති බව ප්‍රකාශ විය.

අලුයම 5.00 ට මාතරින් පිටත්වීමට නියමිත තිබූ දුම්රිය කොළඹට පැමිණිම ප්‍රමාද වනු ඇති බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

තාම විසඳුමක් නැහැ :

මේ අර්බුදය සම්බන්ධයෙන් කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම මහතා කියාසිටියේ දුම්රිය ධාවනය කරවීමට හැකි උපරිම උත්සාහය ගන්නා බවයි.

කෙසේවෙතත් තත්ත්වය සමථයකට පත් කිරිමට නොහැකි වනු ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා සඳහන් කළේ වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

දුම්රිය සහායකයින් බඳවා ගැනීම නිසි ක්‍රමවේදයකට සිදුව නොමැති බවද මෙහිදී ඔහු පැවසිය.

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අදාළ ගැටළුව සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය උපදේශක ජේ. දඩල්ලගේ මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වු අතර එහිදී ගැටළුවට නිසි විසදුමක් ලැබී නැති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය උපදේශක ජේ. දඩල්ල මහතා සඳහන් කළේ දුම්රිය සහායකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී වෘත්තීය සමිති දැනුවත් කළ බවයි.

ආරක්ෂාවට පොලිසිය :

මේ අතර දුම්රිය ධාවනය සිදුවන අවස්ථාවේ කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවල පොලිස් නිලධාරීන් රඳවා තබන බවද දුම්රිය පාලක මැදිරිය පැවසිය.

මගීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් දුම්රිය ආරක්‍ෂක නිලධාරීන්ද ප්‍රධාන දුම්රිය ස්ථානවල සේවයට යොදවා ඇති බව එහි ප්‍රකාශකයෙකු වැඩිදුරටත් කියාසිටියේය.

(නෙත් නිව්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top