15976 BM WEB BANNER 01
Oct 12, 2017

බැඳුම්කර කොමිසම : 'වගකිවයුත්තන් අනාවරණය වී අවසන්' Featured

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු මාලාව සම්බන්ධයෙන් කොමිසමට අවශ්‍යව තිබූ සියලු තොරතුරු මේ වන විටත් අනාවරණය කරගෙන හමාර බවත් එබැවින් තවත් සාක්ෂි දෙකක් පමණක් තහවුරු කර ගැනීමෙන් පසු කොමිසමේ සාක්ෂි විභාගය අවසන් කරන බවත් මහබැංකු බැඳුම්කර කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මහතා ඊයේ (11දා) ප්‍රකාශ කළේය.

ඔහු එලෙස ප්‍රකාශ කර සිටියේ තවත් 20 දෙනකු පමණ සාක්ෂි ලබාගැනීම සඳහා කොමිසම හමුවට කැඳවන ලෙසට ඉල්ලා සිටිමින් ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඉල්ලා සිටි අවස්ථාවේදීය.

කොමිසමේ කාර්යභාරය වූයේ සිදුව ඇති ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනු පිළිබඳව කරුණු සොයා බලා ඊට අදාළ වගකිවයුත්තන් කවුරුන්ද යන්න අනාවරණය කොට ගැනීම බවත් එම කර්තව්‍යය ඉතාමත්ම සාර්ථක ලෙස ඉටුකර ගැනීමට කොමිසම මේ වන විටත් සමත් වී ඇති බවත් එබැවින් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරි මහතුන් විසින් ඉදිරිපත් කොට ඇති මේ ලැයිස්තුවෙන් තිදෙනකු පමණක් කැඳවා තහවුරු කරගත යුතු කරුණු සාක්ෂාත් කර ගැනීමට තීරණය කළ බවත් සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේය.

දැන් ඉතිරිව ඇත්තේ වාර්තාව සැකසීමේ කාර්ය පමණක් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

රාජ්‍ය නිලධාරීන් ලිස්සා හැරියේ කෙසේද?

කෙසේවුවද බැඳුම්කර කොමිසම රවී කරුණානායක, කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් කැඳවා ප්‍රශ්න කලද මෙතෙක් එම ගනුදෙනුවට සෘජුව සම්බන්ධ කිසිදු අමාත්‍යංශයක ලේකම්වරයෙකු හෝ වගකිව යුතු නිලධාරියෙකු ගෙන්වා ප්‍රශ්න නොකිරීම ආණ්ඩුවේ ඇතැම් පාර්ශව වල විවේචනයට ලක්ව තිබේ.

මෙතෙක් නිලධාරීන් ලෙස මෙම පරීක්ෂණය සඳහා සහභාගී කරවාගෙන ඇත්තේ මහබැංකු හිටපු අධිපතිවරයා, නියෝජ්‍ය අධිපතිවරයා හා රාජ්‍ය බැංකු 3 ක සභාපතිවරුන් හා සාමාන්‍යාධිකාරීවරුන් පමණි.

 කිසිදු විටෙක මෙම ගනුදෙනුවලට අදාල අමාත්‍යංශයන්හී ලේකම්වරුන් ගෙන්වා ප්‍රශ්න කිරීමක් සිදුකර නොමැත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top