Nov 23, 2016

'බැඳුම්කර වංචාකරුවන්ට දඬුවම් දිය යුතුයි' - ශ්‍රීලනිප කමිටුව

රටේ ඉමහත් ආන්දොaලනයකට තුඩුදුන් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර නිර්දේශ කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කළ ශ්‍රීලනිප කමිටුව ප්‍රධාන නිර්දේශ හයකින් යුතුව සිය වාර්තාව සකස්‌ කොට අවසන් බවත් එය වහාම ජනාධිපතිවරයාට භාරදීමට නියමිත බවත් මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (22 දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

බැඳුම්කර වංචාවට වගකිවයුත්තන්ට දඬුවම් ලබාදිය යුතු බවත්, එම වංචාව නිසා රජයට සිදු වූ මූල්‍ය පාඩුව ඊට වගකිවයුත්තන්ගෙන් අයකර ගත යුතු බවටත් යන ස්‌ථාවරයේ සිට එම ශ්‍රීලනිප කමිටු නිර්දේශ සකස්‌ කළ බව ද එම කමිටු නිර්දේශ මොනවාද යන්න මාධ්‍යයට හෙළි කළ නොහැකි බව ද ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කළේය.

ශ්‍රීලනිප කමිටුව විසින් එම බැඳුම්කර නිකුතූන්වලට අදාළ රජයේ විගණකාධිපති වාර්තාව සහ කෝප් කමිටු වාර්තාව පුළුල් වශයෙන් අධ්‍යයනය කළ බව ද ඒ සඳහා ආර්ථික විද්වතුන්ගේ අදහස්‌ ලබාගත් බව ද සඳහන් කළ මුදල් රාජ්‍ය ඇමැතිවරයා, තම නිර්දේශ සකස්‌ කළේ එම සියලු කරුණු ගැන දින හයක්‌ තිස්‌සේ සාකච්ඡා කිරීමෙන් පසුව බවත් කීය.

අදාළ වංචාවට වගකිවයුත්තන්ට දඬුවම් ලබා දිය යුතු බව සහ එම පාඩුව නැවත රජයට අයකරගත යුතු බව මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිපය මුල සිටම සිටි ස්‌ථාවරයයි. එම ස්‌ථාවරය අනුව ඉතාම අවංකව සිය නිර්දේශ ඇතුළත් වාර්තාව සකස්‌ කළ බව ද ඒ අනුව ජනාධිපතිතුමන් ඒ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර තීරණය කරනු ඇති බව ද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීවේය.


ජනාධිපති කොමිසමක්‌ ?


ප්‍රශ්නය -

ඔබලා නිර්දේශ කළේ ජනාධිපති කොමිසමක්‌ පත්කිරීමටද?

පිළිතුර -

''මෙතන කාරණා දෙකක්‌ තිබෙනවා. මේ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවේ විවාද කරල අවසන් වී පාර්ලිමේන්තුව ගන්න තීන්දුව කථානායකතුමා අත්සන් කරල නීතිපතිට යවන්න ඕන. ඒක තමයි නීත්‍යනුකූල තත්ත්වය. ඒක පළමු අදියර. දෙවැනි අදියර තමයි අපි ජනාධිපතිතුමාට දෙන වාර්තාව අනුව ජනාධිපතිතුමාගෙ ක්‍රියාමාර්ගය.

 මෙහිදී ජනාධිපතිතුමාට අවස්‌ථා දෙකක්‌ තියෙනවා. එකක්‌ පාර්ලිමේන්තුවෙන් කෝප් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යෑව්වට පසුව නීතිපති දෙපාර්තමේන්තුව ගන්නා පියවර කුමක්‌ද කියල ජනාධිපතිතුමාට බලන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්නෙ නැත්නම් ජනාධිපතිතුමාට මේ ගැන වෙනත් ක්‍රියාමාර්ගයක්‌ ගන්න පුළුවන්. අවසාන වශයෙන් සිදුවිය යුත්තේ දඬුවම් ලබාදීම සහ පාඩු වූ මුදල අයකර ගැනීමයි.''

(දිවයින)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top