nsb

Nov 23, 2016

‘මහින්ද ජාතීන් බේද කරන කුමන්ත්‍රණයක’ - විදේශ ඇමති (වීඩියෝ) Featured

හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරුද්ධ පාර්ශවය ජාතිවාදය අවුස්සමින්, වසර දහස් ගණනක් සහජීවනයෙන් ජීවත් වූ සිංහල සහ මුස්ලිම් ජනකොටස් බේද කිරීමට කුමන්ත්‍රණයක දී සිටින බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා චෝදනා කරයි.

එම කුමන්ත්‍රණය සිදු කරන්නේ ‘බංකොලොත් දේශපාලකයන්’ විසින් බව ඊයේ (22)  පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ‘නිල් බලකාය’ සහ 'බොදු බල සේනාව' ඊට හවුල් බවට චෝදනා කළේය.

බොදුබල සේනා නායකත්වයෙන් ඉකුත් සතියේ මහනුවර පැවති මුස්ලිම් විරෝධී උද්ඝෝෂණයේ  හිටපු ජනාධිපතිගේ දායකත්වයක් තිබුනු බවද ඇමතිවරයා එහිදී  කියා සිටියේය.

මුස්ලිම් ජනතාව බිය ගන්වන ආකාරයෙන් පැවැත්වුණු එම විරෝධතාවයේදී ‘මුස්ලිම් පල්ලිය පාර’ නාම පුවරුවද විනාශ කොට තිබුනු බවද විදේශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.


‘කාලකන්නි’ බලකායක්:


''පසුගියදා මහනුවර දී අපි දක්කා අර පල්ලිය පාරේ තියෙන නාම පුවරු ලේඛනය පවා විනාශ කරලා ...මුස්ලිම් ජනතාවට මේ රට තුල ජීවත් වෙන්නට අයිතියක් නැහැයි කියන භයානක පණිවුඩය අද දෙන්න පටන් අරං තියෙනවා,” යි අමාත්‍යවරයා කීය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර බලවේග සමග ආණ්ඩුව ගොඩනගාගෙන තිබෙන හොඳහිත පලුදු කිරීමද ජාතිවාදය අවුස්සන කුමන්ත්‍රණකරුවන්ගේ තවත් අරමුණක් බවයි.

මුස්ලිම් විරෝධී  ‘කාලකන්නි බලකායක්’ ගොඩ නැගීමට ගිය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිල් බලකායේ ප්‍රබල ආධාරකරුවකුද  මුස්ලිම් අන්තවාදය නියෝජනය කරන යම් පිරිසක්ද මේ වනවිට සිරභාරයට ගෙන තිබෙන බවත් විදේශ ඇමැති මංගල සමරවීර මහතා කියා සිටියේය.

ඥානසාර හිමි අධිකරණ ඇමැති සමග :

IMG 20161122 155019


විදේශ ඇමතිවරයා පාර්ලිමේන්තුව තුලදී එසේ බොදු බල සේනා සංවිධානය දැඩි විවේචනය කරමින් සිටියදී බොදුබල සේනා සංවිධානයේ නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හා එම සංවිධානයේ න්‍යායාචාර්ය දිලන්ත විතානගේ මහතා ඇතුළු එම සංවිධානයේ නියෝජිතයින් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු කාරක සභා කාමරයක් තුල අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා සමග විශේෂ සාකච්ඡාවක නිරතව සිටියේය.

පන්දහසකට අධික ශ්‍රී ලාංකිකයන් විසින් අත්සන් කළ පෙත්සමක් ඊයේ (22) පෙරවරුවේ දී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට බාරදී තිබු අතර,  බොදු බල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර සහ අම්පිටියේ සුමන යන හිමිවරුන් දෙනම අත් අඩංගුවට ගන්නා ලෙස එමගින් ඉල්ලා තිබිණ.

සුළුජාතීන්  සහ ආගම් වලට විරුද්ධව භික්ෂුන් විසින් කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකොට පොලිසියත් රජයත් මුනිවත රැකීම දැඩි අප්‍රසාදයෙන් යුතුව හෙලා දැක තිබෙන එම පෙත්සම පොලිස්පතිවරයාට භාර දුන් දිනයේම, බුද්ධශාසනය සහ අධිකරණය භාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හමු වූ ගලගොඩඅත්තේ ඥානසාර මාධ්‍යවේදීන්ට කීවේ සාකච්ඡා සාර්ථක ලෙසින් පැවති බවයි.

ජාති හා ආගම් අතර ප්‍රචණ්ඩතාව අවුළුවන ද්වේශ සහගත ප්‍රකාශ කිරීමත්, හිංසනය සහ නීතිය උල්ලංඝනය කිරීමත් පොලිස්පති වරයාට භාරදුන් පෙත්සමේ ප්‍රධාන චෝදනා අතර වෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top