nsb

Nov 23, 2016

ගුරු පඩුරු අහෝසියි ! Featured

ගුරුවරුන් හෝ පාසල් කාර්ය මණ්‌ඩලය සිසුන්ගේ දෙමාපියන්ගෙන් පෞද්ගලිකව ත්‍යාගයන් ලබාගැනීම ආයතන සංග්‍රහය සහ අල්ලස්‌ හෝ දූෂණ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්‌ හෙයින් ඒ අනුව කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්‌ටිආරච්චි මහතා චක්‍රලේඛයක්‌ නිකුත් කරමින් සඳහන් කරයි.

ත්‍යාග පිරිනැමීමේදී හෝ එවැනි කරුණක්‌ සඳහා මුදල් එකතු කිරීමේදී ආර්ථික අපහසුතාවන්ගෙන් පෙළෙන දෙමාපියන්ට සිදුවන අපහසුතාවන් මෙන්ම එම දරුවන් පත් වන මානසික පීඩනයන් සැලකිල්ලට ගෙන මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

ගුරුවරුන් සහ පාසල් කාර්ය මණ්‌ඩලයට ත්‍යාග ලබාදීම සඳහා මුදල් රැස්‌ කිරීමට කිසිදු කණ්‌ඩායමකට ඉඩ නොතැබීම විදුහල්පතිවරයාගේ වගකීමක්‌ බව ද එලෙස ත්‍යාග ලබාගැනීම විනයානුකූලව ද කටයුතු කළ හැකි වරදක්‌ බව ද එම චක්‍රලේඛයේ සඳහන්ව තිබේ.

එමෙන්ම මුදල් හා ත්‍යාග එකතු කිරීම, ත්‍යාග ලබාදීම සහ ලබාගැනීම සඳහා කිසිදු කණ්‌ඩායමක්‌ පෙලඹෙන ආකාරයට කටයුතු නොකිරීමට සියලුම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වගබලා ගත යුතුය.

වසර අවසානයේදී සහ ගුරු දිනය වැනි වෙනත් අවස්‌ථාවන්හිදී ගුරුභවතුන්ට ත්‍යාග පිරිනැමීම සඳහා විවිධ කණ්‌ඩායම් සංවිධානාත්මකව පන්ති මට්‌ටමින් කව පිහිටුවාගෙන මුදල් එකතු කරන බවට තොරතුරු ලැබී ඇතැයි ද අධ්‍යාපන ලේකම්වරයා සදහන් කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top