Nov 24, 2016

සයිටම් සෙමි ගවමන්ට් වෙද්දී නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට! Featured

මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය රාජ්‍ය හා පෞද්ගලික හවුල් ආයතනයක්‌ ලෙස පවත්වාගෙන යෑමටත්, නෙවිල් ප්‍රනාන්දු ශික්‌ෂණ රෝහල රජයට පවරාගෙන රජයේ රෝහලක්‌ ලෙස පවත්වාගෙන යාමටත් උසස්‌ අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාව නිර්දේශ කර සිටී.

අනුකමිටු වාර්තාව සභාගත කළ එහි සභාපති මහාචාර්ය ආශු මාරසිංහ මහතා ප්‍රකාශ කළේ නෙවිල් ප්‍රනාන්දු ශික්‌ෂණ රෝහලේ තිබෙන ඇඳන් දහසෙන් ඇඳන් සියයක්‌ මුදල් අය කරනු ලබන වාට්‌ටු ලෙස වෙන්කළ යුතු බවයි. නොමිලේ ලබා දෙන ඇඳන් නවසීයෙන් ඇඳන් හාරසීයක්‌ වෛද්‍ය සැත්කම්, නාරි හා ප්‍රසව විද්‍යා, ළමා රෝග, මනෝ රෝග වැනි ඒකක සඳහා එකකට ඇඳන් අසූව බැගින් ලබාදිය යුතු බවත්  ඉතිරි ඇඳන් අක්‌ෂි, විකලාංග, ඊඑන්ටී වැනි අංශ සඳහා වෙන්කළ යුතු බවද අනු කමිටු වාර්තාවේ දැක්‌වේ.

එම අනුකාරක සභාවේ සභාපති ලෙස මහාචාර්ය ආශු මාරසිංහ මහතා ද සාමාජිකයන් ලෙස ලසන්ත අලගියවන්න, සුජිත් සංජය පෙරේරා, මුජිබර් රහුමාන්, අන්ගජන් රාමනාදන්, චතුර සංදීප සේනාරත්න, විඡේපාල හෙට්‌ටිආරච්චි යන මහත්වරුන් සහ රෝහිණී කුමාරි විඡේරත්න මහත්මිය කටයුතු කර ඇත.

සයිටම් ආයතනයට ඇතුළත් කරගනු ලබන සිසුන් අතරින් 20%ක ප්‍රමාණයක්‌ පූර්ණ ශිෂ්‍යත්ව ලෙස රජයේ වෛද්‍ය පීඨවලට ඇතුළත්වීමේ වරම් අහිමිවන සිසුන්ට ලබාදිය යුතු බවද අනුකමිටුව නිර්දේශ කර සිටී.

සයිටම්හි වෛද්‍ය විද්‍යාලයේ විභාගය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ තත්ත්වයට පැවතිය යුතු බවද සයිටම් සිසුන් සඳහා අවිස්‌සාවේල්ල, මුල්ලේරියාව සහ හොරණ යන රෝහල් සායනික පුහුණුවට සම්බන්ධ කර ගත යුතු බවද අනුකමිටුව නිර්දේශ කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top