Oct 20, 2017

ව්‍යවස්ථා විරෝධයට මල්වතු විහාරය හවුල් නෑ

බලය විමධ්‍යගත කරන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් පල කෙරෙන විරෝධයට මල්වතු පාර්ශවයේ නිල සම්බන්ධයක් නැති බව අනුනා හිමිනමක් දැනුම් දෙයි.

ශ්‍රී ලංකාව සඳහා අලුතින් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමය අත්හිටුවන ලෙස මාධ්‍ය හමුවේ දැඩි ලෙස කළ නිවේදනයක් ඊට පසුදාම හකුලා ගනිමින් මල්වතු පාර්ශවයේ දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියන් වදාළේ එය මල්වතු පාර්ශවයේ මහනාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාවේ ඒකමතික තීන්දුවක් නොවන බවයි.

මල්වතු මහනාහිමියන් විදේශගතව සිටියදී මහනුවර දළදා මාලිගාවේ රන් ආයුධ මණ්ඩපයට එක්වූ ශ්‍රී ලංකාවේ තුන්නිකායෙන් එකක් වන සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශව දෙකේ කාරක සංඝ සභා නව ව්‍යවස්ථා සම්පාදනයට එරෙහිවීමට තීන්දු කළ බව දිඹුල්කුඹුරේ විමලධම්ම සහ මැදගම ධම්මානන්ද අනුනාහිමි දෙනම විසින් 18 බදාදා නිවේදනය කරන ලදී.

පුද්ගලික අදහසක්:

ඊට පසුදා මල්වතු අනුනාහිමියන් මාධ්‍යවේදීන්ට කියා සිටියේ භික්ෂුන් වහන්සේ කිහිප නමක් රැස්වී කළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් තමන් වහන්සේ විසින් පල කරන ලද්දේ පුද්ගලික අදහසක් බවයි.

මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් දෙනම වැඩම නොකළ රන් ආයුධ මණ්ඩප සාකච්ඡාවට තමන් වහන්සේට අමතරව මල්වතු පාර්ශවයෙන් සහභාගි වූයේ ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර තිබ්බටුවාවේ මේධංකර හිමියන් පමණක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටිසේක.

නව ව්‍යවස්ථාව සම්බන්ධව මහනාහිමියන්ගේ අදහස දැන ගත හැකි වන්නේ උන්වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් පසුව බවත් මහනාහිමියන් අනුමත කරන තුරු එය සියම් නිකායේ මල්වතු පාර්ශවය අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට එරෙහිව ගත් තීන්දුවක් ලෙස පිළිගැනීම නිවැරදි නොවන බවත් විමලධම්ම හිමියන් ප්‍රකාශ කර තිබේ.

මල්වතු පාර්ශවයේ තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් මේ මස මුලදී වදාරා තිබුනේ ශ්‍රී ලංකාවට අලුතින් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමෙන් රටට අහිතකර කිසිවක් සිදු නොවන වග තමන් වහන්සේට විශ්වාස බවයි.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top