Nov 24, 2016

'දඩ මුදල වැඩිකළේ ජීවිත ආරක්ෂාව ගැන හිතලා' - රවී

වේග සීමාව ඉක්මවා ධාවනය කරන රථ වාහන සඳහා දඩ මුදල් වැඩිකරනු ලැබුවේ මහා භාණ්ඩාගාරයට මුදල් ලබාගැනීමට නොව, ජනතාවගේ ජීවිත ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමුකිරීම නිසා බව මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා අවධාරණය කර සිටියි.

තමාට කළ හැක්කේ බදු ගැසීම හෝ දඩ නියම කිරීම පමණක් බවත්, වේග සීමා පුවරු ප්‍රදර්ශනය කිරීම හා නීතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම කළ යුත්තේ පොලීසිය හා ප්‍රවාහන අමාත්‍යංශය විසින් බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද (24) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රධාන රථ වාහන වැරදි 7ක් සඳහා දඩ මුදල රු.25,000ක් දක්වා වැඩිකිරීමට අදාළව පවත්නා ප්‍රතිචාර සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් මතු කළ ප්‍රශ්නයකදී අමාත්‍යවයරයා මේ බව සඳහන් කළේය.

වේග සීමාව ඉක්මවා ධාවනය කරන රථ වාහන සඳහාද රු.25,000ක දඩයක් අය කරන බවට පසුගියදා රජය විසින් නිල වශයෙන් දැනුම් දෙනු ලැබූවද,එම කාරණයට අදාළව ‍වසර කිහිපයකට ඉහතදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක නගරසීමාවල වේග සීමා දැක්වෙන පුවරු සවිකොට, එම සීමා පිළිබඳ ගැසට් නිවේදනයක් මගින් ජනතාව දැනුවත් කරනතුරු වේග සීමා නීතිය ක්‍රියාත්මක නොකළ යුතු බවට දැක්විණි.

ඒ පිළිබඳ මුදල් අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ ජනතාව දැනුවත් කිරීම හා එකී නියෝග අනුව ක්‍රියා කිරීම පොලීසිය හා ප්‍රවාහන අමාත්‍යංශය විසින් සිදුකළ යුතු බව හා තමා කරනු ලබන්නේ බදු ගැසීම දඩ නියම කිරීම පමණක් බවයි.

අනෙක් අතට මෙම වැරදි සඳහා දඩ මුදල් සංශෝධනය කිරීමට යෝජනා වූයේද ප්‍රවාහන අමාත්‍යංශය හා පොලීසිය සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස බවත්, දිනකට සිදුවන රිය අනතුරුවලින් පුද්ගල මරණ 7ක් පමණ සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top