Nov 08, 2017

ආණ්ඩුවේ සැප්තැම්බර් වියදම ගැන බිමල් කිපෙයි

පසුගිය සැප්තැම්බර් මාසය තුළ ආණ්ඩුව විසි‍න් වියදම් කළ රුපියල් කෝටි 1126කට අධික මුදලක් අනුමත කරදෙන ලෙස ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩුපක්ෂය විසින් ඊයේ (07දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

එම ඇස්තමේන්තුවට අනුව සැප්තැම්බර් මාසය තුළ අතිරේකව වැය කර ඇති පුනරාවර්තන වියදම රුපියල් කෝටි 634 කි. ප්‍රාග්ධන වියදම කෝටි 492 කි.

මෙම මාසය තුළ විදෙස් ගමන් සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 05 ක්,විදේශ කටයුතු අමාත්‍යාංශය රුපියල් තුන්කෝටි දහසය ලක්ෂයක්, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය රුපියල් තිස් ලක්ෂයක් සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය රුපියල් හාරලක්ෂ අනූහයදහසක් වියදම්කර තිබේ.

වාහන නඩත්තුව සඳහා රුපියල් පන්කෝටි පනස් නවලක්ෂ පනස්දහසක් ආණ්ඩුව විසින් මෙම මාසයේදී වැයකර තිබේ. ඒ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, සභා නායක කාර්යාලය සහ ගුවන් හමුදාව වෙනුවෙනි. සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය රුපියල් කෝටි එකහමාරක මුදලක් "බිම්ස්ටෙක් සමුළුව" සඳහා වැයකර තිබේ.

බේරුවල සහ අලුත්ගම ප්‍රදේශයේ 2014 ජුනි මාසයේ සිදු වූ ගැටුමෙන් මියගිය අයගේ පවුල්වලට වන්දි ලෙස රුපියල් එක්කෝටි දාහතර ලක්ෂයක් ගෙවා ඇති අතර, වරාය නගර ව්‍යාපෘතියේ මුහුදු වැලි කැණීම සඳහා රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක් වැයකර තිබේ. සාහිත්‍ය කලා උලෙළ හා ජනාධිපති සිනමා සම්මාන උලෙළ සඳහා රුපියල් එක්කෝටි විසි අටලක්ෂයක් වියදම්කර තිබේ.

එහිදී මෙම පරිපූරක ඇස්තමේන්තුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමු‍ණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතා විරෝධය පළකළේය.

“රුපියල් කෝටි තුනහමාරකට අධික මුදලක් එක් මාසයකදී විදෙස් ගමන් වෙනුවෙන් වැය කරලා මෙහෙම කොළ කෑලි දාලා හරියන්නේ නැහැ. මේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි* යැයි එම මන්ත්‍රීවරයා කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top