Nov 08, 2017

අනුරපුර වීදි සැරූ කතුන්ට වැඩ වරදී

ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යන මුවාවෙන් අනුරාධපුර නගර සීමාවේ හා ඒ අවට පවත්වාගෙන ගිය ගණිකා නිවාස පහක්‌, වටලා තරුණ කතුන් දස දෙනකු අනුරාධපුර මූලස්‌ථාන පොලිසිය මඟින් (6) දා සවස අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 25 ත් 40 අතරේ පසුවන කාන්තාවන් පිරිසකි.

සෝදිසි වරෙන්තු 16 ක්‌ ලබාගෙන එම ස්‌ථාන සියල්ල වැටලීමට උත්සාහ කළත් කිසියම් ආකාරයකින් සම්භාහන මධ්‍යස්‌ථාන හිමියන්ට වැටලීම සිදුකරන බව සැලවීමත් සමඟ ඔවුන් ආයතන වසාදමා පලාගොස්‌ තිබූ බව පොලිසිය පවසයි.

අනුරාධපුර නව නගරය, දහයියාගම, පුබුදුපුර, යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්‌ථාන තුනක්‌ හා නිවාඩු නිකේතන දෙකක්‌ වටලා සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් මීට පෙරත් අවස්‌ථා ගණනාවකදීම අවකල් ක්‍රියාවේ නිරත වීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබෙන බව පොලිසිය කියයි. පසුගිය මාස කිහිපයේ අඛණ්‌ඩව සිදුකළ වැටලීම්වලදී ගණිකා වෘත්තියේ නිරත වූ කාන්තාවන් 80 පමණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව පොලිසිය පවසයි.

වැටලීම සිදු කරද්දී ඇතැම් ආයතනවල හිමිකරුවන් ගේට්‌ටුවලට අගුළු දමා පොලිසිය පැමිණේ දැයි බලමින් හොරගල් අහුලමින් සිටි බවත් ඔවුන්ට ගේට්‌ටු විවෘත කරන ලෙස පැවසූ විට යතුරු නැතිවී ඇතැයි කීම නිසා තාප්ප උඩින් පැන ආයතනවලට ඇතුළු වී බලද්දී තරුණ කාන්තාවන් කාමරවල සඟවා සිටි බවත් පොලිසිය පවසයි. එසේ සඟවාගෙන සිටි කාන්තාවන් සිවුදෙනකු ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිවරිය සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට පත් වී තිබුණි.

අත්අඩංගුවට ගත් සියලුම සැකකාරියෝ අනුරාධපුර මැදවච්චිය, පුත්තලම, තඹුත්තේගම යන ප්‍රදේශවල පදිංචිකාරියෝ ය. ඔවුන් සියලුම දෙනා ඊයේ (07 දා) අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් මෙම සිදුවීමේදී සම්බාහන ආයතන පවත්වාගෙන ගිය හිමිකරුවන් හෝ යතුරු නැති බව පවසමින් එම කාන්තාවන් සඟවන්නට උත්සහ කළ පුද්ගලයන් හෝ කිසිවකුත් පොලීසිය අත්අඩංගුවට ගෙන නොමැත. මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසියෙන් කළ විමසීමේදී ඔවුන් පැවසූයේ අදාළ කාන්තාවන් පමණක් අත්අඩංගුවට ගත් බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top