Nov 26, 2016

ආණ්ඩුව රකින්න ප්‍රචාරණය මංගලට පවරයි Featured

සම්මුතික ආණ්ඩුවට එරෙහිව මේ වන විට සිදු වෙමින් පවතින සැලසුම්සහගත මාධ්‍ය ප්‍රහාරයට එරෙහිව ඊට පිළිතුරු බැඳීම සඳහා වන යාන්ත්‍රණයක් ගොඩනැංවීමේ වගකීම විදේශ ඇමැති මංගල සමරවීර මහතාට පවරා ඇති බව ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම වගකීම බාරගන්නා ලෙස ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් ඔහුගෙන් ඉල්ලා ඇත.

මේ වන විට මාධ්‍ය ආයතන කිහිපයක් හා සමාජ ජාලා යොදාගෙන එල්ල කෙරෙන පදනම් විරහිත චෝදනාවන්ට නිසි පරිදි උත්තර දීම රජයේ මාධ්‍ය මඟින් හෝ ජනාධිපති මාධ්‍ය අංශය හා අගමැතිවරයාගේ මාධ්‍ය අංශය මඟින් සාර්ථක ලෙස ඉටු නොවීම මත මෙම තීරණය ගෙන තිබේ.

ආණ්ඩුවේ මතය නිවැරැදිව ජනතාව අතරට ගෙන යාමට කෙනෙකු නොවීම නිසා පසුගිය කාලයෙහි ආණ්ඩුව දැඩි අපහසුවට පත්ව තිබිණි.

ඉදිරි වර්ෂය ආණ්ඩුවට තීරණාත්මකයි :

ඉදිරි වර්ෂය ආණ්ඩුවට ඉතා තීරණාත්මක වර්ෂයකි. විශේෂයෙන්ම නව ව්‍යවස්ථා යෝජනාව, මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමතරව පසුගිය රජයේ දූෂණ චෝදනා ලැබූවන්ට එරෙහිව කෙරී ඇති විමර්ශනවලට අදාළව නීතිමය පියවර රැසක් ගැනීමට ද නියමිතය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත ඉදිරි වර්ෂයේ දී ආණ්ඩුව කෙරෙහි දැඩි විවේචන ද ඉදිරිපත් විය හැකි බැවින් ආණ්ඩුව දුන් පොරොන්දු ඒ ආකාරයෙන් ඉටු කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම අතිශය වැදගත්ව තිබේ.

මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන මාධ්‍ය මෙහෙයුම් කමිටුවට 2015 ජනාධිපතිවරණ සමයේ දී රාජපක්ෂ පාලනයට එරෙහිව දැඩි ප්‍රහාරාත්මක මාධ්‍ය මෙහෙයුම් කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් හා කණ්ඩායම් කර ගැනීමට මේ වන විටත් සාකච්ඡා කරමින් ඇති බවත් දැන ගැනීමට ඇත.

(සත්හඬ - සුභාෂ් ජයවර්ධන)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top