Nov 11, 2017

''සෞදි අරාබියේ වගේ තීරණයක් ගන්න ඕන'' - මංගල Featured

බීර මිල අඩු කිරීම සහ මත්පැන් වර්ගය අනුව මධ්‍යසාර පරිමාව (ඇල්කොහොල් ප්‍රතිශතය) පදනම් කර ගනිමින් බදු හඳුන්වා දීම සම්බන්ධයෙන් ජනතාව විවිධ අදහස් පළ කරති.

ඒ පිළිබඳ සමාජ ජාල තුළ ද අවධානය යොමු වෙමින් පවතී.

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසන පරිදි ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 65% -70% අතර ප්‍රමාණයක් මත්පැන් පරිභෝජනය නොකරයි.

එම ප්‍රතිශතයෙන් අඩක් පමණ ස්ත්‍රීන් වන බව කී දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා, පුරුෂයන්ගෙන් 15% - 20% අතර ප්‍රමාණයක් ද මත්පැන් භාවිත නොකරන බව සඳහන් කළේය.

නමුත් මත්පැන් භාවිත කරන පිරිස සාපේක්ෂ වශයෙන් අඩු වුවත් බටහිර රටවල් හා සැසඳීමේ දී ඔවුන් "තදින්" මත්පැන් භාවිත කරන බව ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

මත්පැන් නිසා සිදුවන මරණ සංඛ්‍යාව 10,000 -15,00 :

kasippu 600px"බටහිර රටක වසරකට එතනෝල් ලීටර තුනයි දශම පහකටත් හතරකටත් ආසන්න ප්‍රමාණයක් තමයි භාවිත කරන්නේ. නමුත් ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ඒක පුද්ගල බීම ඒ වගේ තුන් හතර ගුණයක් වැඩී"

මත්පැන් භාවිතය සෞඛ්‍ය ගැටලු මෙන්ම සමාජීය ගැටලු ඇතිවීමට ද හේතු වේ.

සුරාසල් තුළ අලෙවි කෙරෙන මත්පැන් මිල දී ගැනීමට ආර්ථික හයියක් නොමැති ඇතැම් පුද්ගලයෝ කසිප්පු වැනි නීති විරෝධීව අලෙවි කෙරෙන මත්පැන් වර්ග කෙරෙහි යොමු වෙති.

නිල වාර්තාවලට අනුව මත්පැන් පානය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාව 10,000 -15,000 අතර අගයක් ගනී.

ලොකුම ප්‍රශ්නය කසිප්පු :

mangala 2

''අපි එක්කෝ සෞදි අරාබිය වගේ තීරණයක් ගන්න ඕන'' - මුදල් අමාත්‍ය

මේ අතර සිකුරාදා (නොවැ 10) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ දැනට පවතින "ලොකුම ප්‍රශ්නය" කසිප්පු බවය.

මත්පැන් භාවිත කරන පුද්ගලයන්ගෙන් 49% කසිප්පු සහ "වල් රා" වෙත යොමුව ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලය මෑතක කළ සමීක්ෂණයකින් හෙළි වී ඇති බව ද මුදල් ඇමතිවරයා සඳහන් කළේය.

කසිප්පු පානය කිරීම පසෙකින් තැබුව ද ශ්‍රී ලංකාවේ මත්පැන් භාවිත කරන්නන්ගෙන් 84% සැර බීමට යොමුව ඇති බව කී මුදල් ඇමතිවරයා ඉන්දුනීසියාව, තායිලන්තය වැනි කලාපීය රටවල වැඩි වශයෙන් සැර බීම පරිභෝජනය නොකරන බව පැවසීය.

"ඒ රටවල සැර මත්පැන් බොන්නේ සියයට එකොළහයි දොළහයි. අනික් සියලු දෙනා බොන්නේ බියර්. යුරෝපයට ගියොත් එම තත්ත්වය ඊටත් වඩා ප්‍රබලව පේනවා"

කෙසේ නමුත් බියර් මිල අඩු කිරීම තුළ ඒ සඳහා යොමු වන පුද්ගලයන් ඉන් නොනැවතී සැර බීම භාවිතයට ද හුරු වන බව ඇතැමුන් පවසන බව කී මුදල් ඇමතිවරයා "එහෙම කියලා බියර් ගාන වැඩිකිරීම තුළින් අන්තිමට වුණේ බියර් බොන මිනිහටත් අරක්කු බොන එක ලාභ වීමයි" යනුවෙන් සඳහන් කළේය.

මත්පැන් භාවිතය සම්බන්ධයෙන් රටකට ක්‍රමවේද දෙකක් භාවිත කළ හැකි බව ද ඇමතිවරයා එහිදී පැවසීය.

"අපි එක්කෝ සෞදි අරාබිය වගේ තීරණයක් ගන්න ඕනි"

"එහෙම නැතිනම් ප්‍රායෝගිකව හිතලා පුළුවන් තරම් මත්පැන් පානය අඩු සැර සහිත බියර් වැනි පානයන්ට සීමා කරන්න උත්සාහ කරන්න අවශ්‍යයි. අන්න ඒ නිසයි මේ අලුත් මිල සුත්‍රය හඳුන්වා දී තිබෙන්නේ"

කොහොම බිව්වත් එතනෝල්:

Beer 624pxකෙසේ නමුත් සැර මත්පැන් භාවිතය අවම කර බීර වැනි වෙනත් මත්පැන් වර්ගයක් දෙසට යොමු වීම ශරීර සෞඛ්‍ය කෙරෙහි යහපත් බලපෑමක් ඇති කරනු ඇති බව කිව නොහැකිය.

උදාහරණයක් වශයෙන් 32% මද්‍යසාර අඩංගු සැර බීමකින් ශරීරයට අවශෝෂණය වන එතනෝල් ප්‍රමාණයම 8% මද්‍යසාර අඩංගු බීර කෑන් හතරකින් ලැබෙනු ඇත.

බියර් මිල පහත දැමීම නිසා සැර බීම භාවිතය අඩු වී සාපේක්ෂ වශයෙන් සෞඛ්‍යට හිතකර තත්ත්වයක් ඇති වනු ඇත්දැයි දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ "බියර් බීම හොඳයි කියන්නේ මිත්‍යාවක්. කොහොම බිව්වත් එතනෝල්" යනුවෙනි.

ප්‍රතිපත්තියක් සැකසීමේ දී කරුණු දෙකක්:

ශ්‍රී ලංකාව තුළ මද්‍යසාර පිළිබඳ ප්‍රතිපත්තියක් සැකසීමේ දී කරුණු දෙකක් යෝජනා කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

එම යෝජනා අතර:

  • මත්පැන් නොබොන පිරිස (65% -70%) එළෙසම රඳා පවත්වා ගැනීම
  • මත්පැන් භාවිත කරන පිරිස ක්‍රමයෙන් අඩු කිරීම සඳහා සැලැස්මක් ක්‍රියාත්මක කිරීම

බියර් මිල පහත දැමීම තුළ පාසල් දරුවන් සහ තරුණ පරපුර ද මත්පැන් කෙරෙහි යොමු වීමේ අවදානමක් ද පැවතිය හැකි බව ඇතැමුන් සමාජ ජාල ඔස්සේ පවසා තිබිණි.

(බීබීසී සිංහල සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top