Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කමිටු සැසිවාරයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කමිටු සැසිවාරයක්
Nov 14, 2017

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව ජිනීවා විමසුමට Featured

යුද අපරාධ චෝදනා සම්බන්ධ විමර්ශන සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය ඇතුළු කරුණු ඇතුළත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තාව හෙට (නොවැම්බර් 15) එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සමාලෝචනයට ලක් කරනු ලැබීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සර්ව කාලාවර්ත සමාලෝචන (Universal Periodic Review - UPR) ක්‍රියාකාරී කණ්ඩායම විසින් ජිනීවා නුවරදී අදාළ විමර්ශනය පවත්වන බව මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

වින්දිතයන් සහ නෑදෑයන්ට වන්දි ගෙවීම සහ ඒවාට වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගැනීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, සත්‍ය කොමිසමක් පිහිටුවීම පිණිස ගෙන තිබෙන පියවර, සියලු ප්‍රජාවන් සඳහා යුක්තිය පසිඳලීමේ ක්‍රමවලට සමාන ප්‍රවේශයක් ලබාදීම, වධ හිංසා සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම පිළිබඳ වාර්තා, වැඩිහිටියන් අතර සමරිසි සම්බන්ධතා අපරාධ ලෙස නොසැලකීම පිණිස ගෙන තිබෙන පියවර, ආගමික සුළුතර ප්‍රජාවේ ආරක්ෂාව පිණිස ගත් පියවර, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මැඩලීම පිණිස ගත් පියවර මෙන්ම මුස්ලිම් විවාහ හා දික්කසාද පනත පිළිබඳව ද අදාළ විමර්ශනයේ දී සලකා බැලෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
MangalaSamaraweera 670px 16 08 17
සත්‍යය කොමිසම සැප්තැම්බරයේ

යුද අපරාධ චෝදනා පිළිබඳව විමසා බැලීම පිණිස ඉතා ඉක්මනින්ම කමිටුවක් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 මාර්තු මාසයේ බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ආණ්ඩුව කිහිප වතාවක්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ද එම ප්‍රතිඥාව දී තිබෙන නමුත් මෙතෙක් එවැනි කමිටුවක් පත් කර නැත.

එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්ධයේ අවසාන සමයේ සිදු වූ දේ පිළිබඳව සොයා බැලීම පිණිස සත්‍ය කොමිසමක් පත්කරන බව එවකට විදේශ අමාත්‍ය පදවිය හෙබවූ මංගල සමරවීර අමාත්‍යවරයා ද කිහිප වතාවක්ම සඳහන් කර තිබේ.

මේ අතර අතුරුදහන්වූවන්ගේ කාර්යාලය (OMP) පිහිටුවීමේ පනතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා අත්සන් තැබූ අතර, එහි මෙහෙයුම් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අය වැය යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

MaithreepalaSirisena 670px 19 07 17
"සමලිංගික සබඳතා ගැන යෝජනාව විසි කළේ මමයි"

කෙසේ වුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට එරෙහි "බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ සම්මුතිය" පිළිබඳ පනත මෑතක දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවත්, විරුද්ධ පක්ෂයෙන් සහ ඇතැම් ආගමික නායකයන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ ආණ්ඩුව විසින් ඒ පිළිබඳ විවාදය දින නියමයකින් තොරව කල් දමනු ලැබ තිබේ.

වැඩිහිටියන් අතර සමරිසි සම්බන්ධතා පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහයේ දැනට පවතින නීතිය සංශෝධනය කිරීමේ උත්සාහයක් තමන් ව්‍යවර්ථ කළ බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රසිද්ධියේ කියා සිටියේය.

කාන්තාවන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය මැඩලීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද සහභාගිත්වයෙන් ආණ්ඩුව විසින් වැඩසටහන් ගණනාවක්ම දියත් කරනු ලැබ තිබේ.

මේ අතර මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මුස්ලිම් ක්‍රියාකාරිනියන් දිගින් දිගටම ඉල්ලා සිටින නමුත් පසුගියදා පැවති පාර්ලිමේන්තු අනු කමිටුවකදී පවා ඒ පිළිබඳව එකඟතාවක් ඇති නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.

(බීබීසී සිංහල සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top