Nov 14, 2017

ජාවාරම්කරුවන් නැව් ඇමතිව නොමග ඇරලා !

භාණ්ඩ හුවමාරු සහ නාවුක කර්මාන්තය නූතන අවශ්‍යතාවන්ට සාපේක්ෂව සංවර්ධනය කිරීම වෙනුවෙන් පවතින නීති වෙනස් කිරීමට සිදුකර ඇති 2018 අයවැය සම්බන්ධ යෝජනාව ගැන වරාය සහ නාවික කටයුතු භාර අමාත්‍යවරයා නොමග යැවීමක් සිදුකර ඇති බවක් පෙනෙන්නට ඇති නව ආර්ථික සහ මුල්‍ය විශ්ලේෂකයින් සඳහන් කර සිටිති.

අයවැයේ සඳහන් යෝජනාව පිළිබඳ මේ වනවිට අමාත්‍යවරයා දක්වන ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් ආර්ථික සහ මුල්‍ය විශ්ලේෂකයින් කිහිපදෙනෙකුම සඳහන් කර සිටියේ අමාත්‍යවරයා අදාළ ප්‍රතිපත්තිමය යෝජනාව ගැන සිය අදහස දැක්වීම වෙනුවට මේ වනවිටත් මෙරට භාණ්ඩ හුවමාරුව ප්‍රමුඛ කොටගත් නාවූක කර්මාන්තයේ ඒකාධිකාරය අත්පත්කරගෙන සිටින ප්‍රධාන පෙලේ සමාගම් දෙකක අවශ්‍යතාව වෙනුවෙන් පෙනීසිටින බවක් පෙනෙන්නට ඇති බවය.


එසේම  CASA තුළ මාරුවෙන් මාරුවට සභාපති සහ ලේකම් ධුර දරමින් මෙරට නාවුක ඒජන්තයින් ලෙස දේශීය සමාගම් රාශියක් ලියාපදිංචි වී ඇතත් සමස්ථ කර්මාන්තයෙන් 70%ක් පාලනය කරන්නේ හේලීස් සහ McLarens යන ප්‍රධාන පෙළේ සමාගම් දෙක පමණක් බවත් කාලාන්තරයක සිට මෙම සමාගම් දෙකෙන් පිට නාවුක කර්මාන්තය සංවර්ධනය වී නොමැති බව විෂයභාර අමාත්‍යවරයා ලෙස මහින්ද සමරසිංහ අමාත්‍යවරයා දැනුවත්ව නොසිටී නම් එය කණගාටු වියයුතු තත්ත්වයක් බවද ඔවුන් පෙන්වා දෙයි.

එසේම දැනට මෙම සමාගම් දෙක මුලික කොටගත් ව්‍යාපාරයක් ලෙස නාවුක කර්මාන්තය පැවතීමට ඉඩදීම හරහා ලංකාව ආසියාවේ නාවුක කේන්ද්‍රය බවට පත්කිරීමට සිතනවා නම් එය කොහෙත්ම දියුණු අදහසක් නොවන බවද ඔවුන් සඳහන් කර සිටිති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව:

23574452 1695510730473222 1036324739 n

23584548 1695510737139888 1759021565 n


මේ සම්බන්ධව අදහස් දක්වන ආර්ථික සහ මුල්‍ය විශ්ලේෂකයින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ vi වන පරිච්ඡේදය තුළ එන රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මුලධර්ම සහ මුලික යුතුකම් හී 27. (2) ඊ කොටසේ “නිෂ්පාදනයේ, බෙදා හැරීමේ සහ හුවමාරු කිරීමේ මාර්ග රජයෙහි, රාජ්‍ය ආයතනයන්හි හෝ වරප්‍රසාද ලත් අතලොස්සක් අතෙහි හෝ ඒකරාශී නොවී සහ මධ්‍යගත නොවී ශ්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරී යන ධර්මිෂ්ඨ සමාජ ක්‍රමයක්” ලෙස ඇතත් නාවුක කර්මාන්තය තුළ එවැනි නිදහසක් පවතීද යන්න අයිතිවාසිකම් පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වන අමාත්‍යවරයා සොයා බැලිය යුතු බවය.

තවද 2018 අයවැය යෝජනා වල එන 96 සහ 97 හරහා පැහැදිළි ප්‍රතිපත්තියක් දක්වා ඇති බවත් එහිදී මුල්තැන දිය යුත්තේ එක් හෝ සමාගම් දෙකක ඒකාධිකාරය ගැන නොව රටේ ජාතික අභිලාශය මුදුන්පත් කරගැනීම බවද ඔවුන් සඳහන් කර සිටියි.

කලාපීය තරගයට මුහුණදීමට:

එසේම මේ වන විට ආසියානු කලාපයේ ඉන්දියාව, පකිස්තානය, හොංකොං වැනි රටවල් පවා නාවික කටයුතු සහ භාණ්ඩ හුවමාරුවේ නිරත ජාත්‍යන්තර සමාගම් වෙත 100%ක නිදහසක් ලබාදී ඇති බවත් එවැනි පසුබිමක කලාපයේ මතුවන තරගයට මුහුණදීමට අප රට කටයුතු කරන්නේ කෙසේද යන්න ගැන අමාත්‍යවරයා වැඩි අවධානයක් යොමුකළ යුතු බවද ඔවුන් පෙන්වා දෙයි.

එහෙයින් මෙතරම් කඩිමුඩියේ අමාත්‍යවරයා අයවැය යෝජනාවට විරෝධය පලකිරීම තුළ අමාත්‍යවරයා නොමග යැවීමට කිසියම් බලවේගයක් කටයුතු කර ඇති බවක් පෙනෙන්නට ඇති බවත් ඒකාධිකාරයට වඩා සංවර්ධනයට ඉඩක් ඇත්තේ තරගය තුළ බව හොඳින්ම දන්නා අමාත්‍යවරයා මෙසේ හැසිරීමට වෙනත් කිසිම හේතුවක් තමන්ට සොයාගැනීමට නොහැකි බවද ඔවුන් සඳහන් කර සිටියි.  

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top