Nov 14, 2017

විජේවීර වගේ ම විජේ කුමාරතුංගත් මැරුණේ නැත්නම් හොඳයි..! (වීඩියෝ)

(ඊයේ (13) ITN තත් . 180 )

අද විශේෂ දිනයකි. ඒ, ජනතා විමුක්ති පෙරමුණ, කලකට ඉහතදී දිවියෙන් සමුගත් තම පක්ෂයේ සාමාජික සාමාජිකාවන් වීරත්වයෙන් සමරන නිසාය.

ජනතා විමුක්ති පෙරමුණේ අතීත දේශපාලන භාවිතාව පිළිබඳ විවිධ අයට විවිධ කියවීම් තිබිය හැකිය. ඒ ඇතැම් කියවීම් ධනාත්මක විය හැකි මෙන්ම, තවත් කියවීම් සෘණාත්මක විය හැකිය.

ඒ කෙසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන භාවිතාව ලංකා දේශපාලන භූමියෙන් පසෙකට කළ නොහැකිය.

කුමන අඩුලුහුඬුකම් විවේචන සහිතව වුවද ජ.වි.පෙ. නායකත්වය දුන් අරගලවලට දායක වූ තරුණ තරුණියෝ යුක්තිය, සාධාරණත්වය පිළිබද අදහසක් සහිත වුන් වූහ.

එමෙන්ම, ඒ අරගල වලදී ජ.වි.පෙ ට ප්‍රතිපක්ෂව සිටි බොහෝ දෙනෙක්ද එසමයෙහි රටට අහිමි විය. ඔවුන් අතර ද යුක්තිය සාධාරණය පිළිබඳව අදහසක් ඇත්තවුන් නොසිටියේ යැයි කිව නොහැකිය.

රෝහණ විජේවීර මෙන්ම විජය කුමාරතුංග ද මිය නොගියානම් හොඳය. උපතිස්ස ගමනායක මෙන්ම නන්දන මාරසිංහ ද මිය නොගියානම් හොඳය. පත්මසිරි ත්‍රිමාවිතාන හෝ රංජිදම් ගුණරත්නම් හෝ නිෂ්මි මෙන්ම දයා පතිරණ ද මිය නොගියා නම් හොඳය. රිචඩ් ද සොයිසා මෙන්ම තේවිස් ගුරුගේ ද මිය නොගියානම් හොඳය.

එහෙත්, ඒ ඉතිහාසය දැන් අපට ආපසු හරවන්නට නොහැකිය. ඉතිහාසය වෙනස් කළ නොහැකි නමුත් අනාගතය වෙනස් කළ හැකිය.

අතීතයේ සිදුවූ වැරදි වර්තමානයේදී නිවැරදි කරගත හොත් අනාගතය වඩාත් ශ්‍රේෂ්ඨ ලෙස නිර්මාණය කරගත හැකිය.

මේ රටේ ජාතික ප්‍රශ්නය විසදීම සඳහා ජාතිවාදී ස්ථාවරයන්ට නොයා නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පෙන්වන සුබවාදී ආකල්පය කිසිදු කුහකකමකින් තොරව අගය කළ හැක්කේ ඒ නිසාය.

උතුරේත් දකුණේත් තරුණ ජීවිත අහිමිවන සංහාරයන්ට එරෙහිව අනාගතය ගොඩනැගීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පෙන්වන මේ කැපවීම අගය කළ යුතුය.

තම තමන්ගේ වීරයන් සැමරීමට හැමෝටම අයිතියත් තිබේ. ඒ මිනිස් අයිතිය දකුණට මෙන්ම උතුරටත් ලැබෙන දිනයක මේ රට ජයග්‍රහණය කරනු ඇත.

දැනට මේ ඇති. සෙස්ස පස්සට.

වීඩියෝ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top