nsb

Nov 26, 2016

සංගීත ක්ෂේත්‍රයේ කර්තෘ භාග තීන්දුයි Featured

මෙරට සංගීත ක්ෂේත්‍රයේ නිරත වන ගායකයන්, පද රචකයන් සහ සංගීත අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් හිමි විය යුතු කර්තෘ භාග ක්‍රමවත් පරිදි ලබා ගැනීම වෙනුවෙන් ශක්තිමත් සංවිධාන ව්‍යුහයක් ගොඩනැගීමට ගත් ප්‍රයත්නය සාර්ථක වූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මේ පිළිබඳ අප කළ විමසුමක දී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම්වරයා පවසා සිටියේ, කාලයක සිට ගායක ගායිකාවන්, පද රචකයන් සහ සංගීතඥයන්ගේ කර්තෘ භාග ගෙවීම නිසි ලෙස සිදු වනවාද යන්න පිළිබඳ සොයා බැලීමට විධිමත් වැඩපිළිවෙළක් නොතිබූ බවත්, ඒ පිළිබඳ තම අමාත්‍යාංශය සංගීත ක්ෂේත්‍රයට අදාළව ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලියාපදිංචිව සිටි සංවිධාන දෙක සමඟ සාකච්ඡා කර අදාළ නව සංවිධාන ව්‍යුහය ගොඩනගන්නට කටයුතු කළ බවත්ය.

ඒ අනුව ලූ‍ෂන් බුලත්සිංහල මහතාගේ මූලිකත්වයෙන් බිහි කර ඇති ACPO සංවිධානය සහ ජයන්ත ධර්මදාස මහතාගේ මූලිකත්වයෙන් ගොඩනගා ඇති OCSA කේන්ද්‍රය නියෝජනය කරමින් ගායක ගායිකාවන් තිදෙනෙකු, පද රචකයන් තිදෙනෙකු හා සංගීතඥයන් තිදෙනෙක් ඇතුළුව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයකු, ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ නියෝජිතයකු සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු ඇතුළත් වන පරිදි නව සංවිධානය පිහිටුවා ඇති අතර ඉදිරියේ දී එය ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලියාපදිංචි කිරීමට නියමිතව තිබේ.

මිලියන ගණනක මුදලක් :

අදාළ නව සංවිධානය පිළිබඳ අප සමඟ අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මෙසේ ද පැවසීය.

“2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ ගායක ගායිකාවන්, පද රචකයන් සහ සංගීතඥයන්ගේ කර්තෘ භාග සඳහා වන අයිතිය තහවුරු කර තිබුණත් නිසි ලෙස එම කටයුත්ත අධීක්ෂණය නොවීම නිසා වාර්ෂිකව මිලියන ගණනක මුදලක් මේ කලාකරුවන්ට අහිමි වෙනවා. ඒ ප්‍රශ්නය විසඳන්න තමයි මේ පාර්ශ්ව අපි එකතු කර එක් සංවිධාන ව්‍යුහයක් ගොඩනැගුවේ. එහි දී අපි පළමුව ACPO සහ OCSA නියෝජිතයන් සමඟ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ මුණගැසී සාකච්ඡා කළා.

පසුව ඒ එකඟතා මත සංගීත ක්ෂේත්‍රයේ සියලු‍ දෙනා නියෝජනය වන පරිදි පදනම් ආයතනයේ සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ අනුව තමයි මේ නව සංවිධානය බිහි වෙන්නෙ. ඒ සඳහා අපි වෙනම කාර්යාලයක් පවා වෙන් කර දුන්නා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ද සපයන්න කටයුතු කර තිබෙනවා.

දැන් ඒ අයට අවස්ථාව තිබෙනවා නිසි අධීක්ෂණය තුළ තමන්ට හිමි විය යුතු කර්තෘ භාග අයකර ගැනීමට සහ ඒවා නිසි ලෙස බෙදාහදා ගැනීමට. ඉදිරියේ දී අපි අනෙක් ක්ෂේත්‍රවලටත් මෙවැනි ක්‍රමයක් හඳුන්වා දෙන්න කටයුතු කරනවා”

(සංජය ලියනගේ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top