Nov 27, 2016

සයිටම් හරහා පෙරටුගාමීන්ට අවි දෙන්නෙපා ! Featured

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (SITM)  අදාළව  පසුගිය දා නිකුත් කෙරුණු  උසස්‌ අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ නිර්දේශ ඇතුළත් වාර්තාව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු විපක්ෂ දේශපාලන පක්ෂ ශක්තිමත් කරන බව සඳහන් කරමින් එම වාර්තාවට ආණ්ඩුව අභ්‍යන්තරයේ බරපතළ විරෝධයක් එල්ල වී ඇතැයි වාර්තා වෙයි.

ඉහත වාර්තාවට විරෝධය පළ කරන පාර්ශ්ව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වෛද්‍ය සභාවේ අනුමැතියට පවා අභියෝග කරන්නට ගොස් සමාජය හමුවේ දැඩි අපකීර්තියකට ලක් වූ ආයතනයක් වෙනුවෙන් රජය සම්මාදම් වීමට යාම ඉදිරියේ දී ආණ්ඩුවට පාරාවළල්ලක් වීමේ අවදානමක් ඇති කළ හැකි බවත් අනෙක් අතට එය ආණ්ඩුව ගන්නා අනවශ්‍ය දේශපාලන අවදානමක් බවත්ය.

මෙසේ විරෝධය පළ කරන ආණ්ඩුවේ පාර්ශ්ව සමඟ වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වාමාංශික පක්ෂවල නියෝජිතයන් කිහිප දෙනකු ද සිය අතීත අත්දැකීම් සිහි කර අදාළ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමේ වැදගත්කම පෙන්වා දී ඇති බව ද වාර්තා වෙයි.

එසේම මේ වන විටත් සයිටම් විරෝධී පිළිවෙත හේතුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පසුගිය සමයේ දුර්වලව ගිය සිය පක්ෂ කේඩරය ශක්තිමත් කර ගනිමින් සිටින බවත් ඒ ගැන තමන්ට ලැබී ඇති තොරතුරු ද ඔවුන් ආණ්ඩුවේ නියෝජිතයන් හමුවේ සඳහන් කර ඇති බවත් එම වාර්තා සඳහන් කරයි.


ජේ. ආර්. ඇන ගත් හැටි :


වැඩිදුරටත් වාර්තා වන ආකාරයට  ඔවුන් ජේ. ආර්. පාලනය විසින් සිසු විරෝධතා සහ වාමාංශික පක්ෂවල විරෝධය නොතකා  1981 දී නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් රාගම ‘උතුරු කොළඹ’ නමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළ ආකාරයත් ඉන් අනතුරුව ඇති වූ ආණ්ඩු විරෝධී තරුණ නැගිටීම් පාලනය කිරීමට ආණ්ඩුව අසමත් වූ ආකාරය ගැන ද ආණ්ඩුවේ නියෝජිතයන් දැනුවත් කර ඇත.

තව ද 1988 දී එම පෞද්ගලික විශ්වවිද්‍යාලය  ජනසතු කළත් ඊට එරෙහිව ක්‍රියා කළ වාමාංශික පක්ෂ වෙත සිදු වූ තරුණ ආකර්ෂණය අඩු නොවූ බව ද  88 - 89 දකුණේ දේශපාලනය තුළ ආණ්ඩු විරෝධී රැල්ල ශක්තිමත් කළේ  එම තරුණ බලවේග බව ද  ඔවුන් පෙන්වා දී ඇත.

මේ පිළිබඳ අප කළ කරුණු විමසීමේ දී ආණ්ඩුවේ නියෝජිතයකු අදාළ වාර්තාව සම්බන්ධව ආණ්ඩුව තුළ විරෝධයක් මතුව ඇති බව පිළිගත් අතර ඒ සම්බන්ධව ඉදිරියේ දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට සූදානමක් ඇති බව ද සඳහන් කර සිටියේය.

එසේම අධිකරණයේ නඩුවක් තිබිය දී මෙවැනි වාර්තාවක් නිකුත් වීම සම්බන්ධව ද ගැටලුවක් ඇති බවත් කාගේවත් පෞද්ගලික අපේක්ෂා ඉටු කර ගැනීම වෙනුවෙන්  වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට විශේෂ දායකත්වයක් සැපයූ තරුණ ප්‍රජාවේ ආකර්ෂණය නැති කර ගැනීමට ආණ්ඩුවේ බහුතරයක්  කටයුතු නොකරනු ඇති බවත් එම ප්‍රකාශකයා සඳහන් කර සිටියේය.

එසේම සයිටම් ගැටලුව කාටත් පිළිගත හැකි විසඳුමක් කඩිනමින් ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීම කෙරෙහි ද ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවත් ඒ හරහා තවදුරටත් සයිටම් මත ආණ්ඩුව විවේචනය වීමට ඉඩක් නැති වනු ඇති බවට තමන් විශ්වාස කරන බවත්  ඔහු සඳහන් කර සිටියේය.

(සත්හඬ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top