nsb

Nov 28, 2016

පුංචි ඡන්ද ජනමත විචාරණයෙන් පසුවට ! Featured

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර සම්මත කරගන්නා තෙක් පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් හෝ පළාත් සභා ඡන්ද විමසීම් නොපවත්වා මැතිවරණ සිතියම හැකිළීම කෙරෙහි යහපාලන ආණ්ඩුවේ අවධානය යොමුවී ඇති බව ඉහළ පෙළේ ඇමතිවරයෙක් පැවසීය.

නව ව්‍යවස්ථාව තුළ බොහෝ දුරට ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පියවර ගනු ඇති බවත් ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පිළිබඳව රට තුළ විශ්වාසය තහවුරු වෙනු ඇති බවත් එය ඡන්දයකට යෑමේදී ශ්‍රීලනිපයට වාසිදායක තත්ත්වයක් ඇති කරනු ඇති බවත් ජනාධිපතිවරයාට සම්බන්ධ පාර්ශ්වයන්ගේ මතය වීම එසේ මැතිවරණ කල්දැමීමට හේතුව වශයෙන් ප්‍රකාශ වේ.

දැනට තිබෙන තත්ත්වය තුළ ඡන්දයක් පැවැත්තුවහොත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රධාන ශ්‍රීලනිප පාර්ශ්වය තුන්වැනි ස්ථානයට පත්වෙනු ඇති බවත්, එම තත්ත්වය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීම හරහා ගොඩනැගෙන ජනප්‍රසාදය මතින් සමනය කරගත හැකි බවත් එම පාර්ශ්වයේ විශ්වාසය බව දැනගන්නට ඇත.

සුළු ජාතීන්ද මෛත්‍රී වටා :

මෙහිදී අප වෙත අදහස් දැක්වූ අදාළ අමාත්‍යවරයා පැවසුවේ මෙම නව ව්‍යවස්ථාව තුළින් ජාතික ප්‍රශ්නයට දෙනු ලබන විසඳුම නිසා සුළු ජාතීන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වටා එකතු වනු ඇති බවයි.

එම තත්ත්වය තුළ ඊළඟ මහ මැතිවරණයකදී මෛත්‍රීපාල සිරිසේන අගමැති ධුරයට පත්වීමේ සම්භාවිතාවක් ඇතැයිද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අනෙක් පැත්තෙන් මේ හරහා මහින්ද රාජපක්ෂගේ මැදිහත්වීම්ද අහෝසි වී යනු ඇති බව එම පාර්ශ්වයේ විශ්වාසය වෙන බව දැනගන්නට ඇත.

මේ තත්ත්වය තුළ පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ලබන අවුරුද්දේ මැද තෙක් වනතුරු කල්යනු ඇති බවත් ප්‍රකාශ වෙයි.

ජනමත විචාරණයක් :

නව ව්‍යවස්ථාව සඳහා සකස් කළ අනුකමිටු වාර්තා පසුගිය නොවැම්බර් 19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ වාර්තාව දෙසැම්බර් 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම මෙහෙයුම් කමිටු වාර්තාව එළැඹෙන ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත අතර ඉන්පසු එම විවාදවල ප්‍රතිඵල අනුව නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට නියමිතය.

ඉන්පසු මාර්තු මාසයේදී පමණ නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට විවාද කිරීමෙන් පසු ඡන්ද විමසීමට ලක්කිරීමට නියමිත අතර නව ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විචාරණයක් පවත්වන්නේ ඉනුත් පසුවය.

(රාවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top