Nov 29, 2016

'අයවැයෙන් දඩ වැඩි කරන්න බැහැ' – ජයම්පති Featured

අයවැයෙන් දඩ පැනවුව ද ක්‍රියාත්මක කිරීමට නම් පනතක් ගෙන ආ යුතු බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

මාර්ග නීති හතක් කඩකිරීමට අදාළව පැන වූ රුපියල් විසිපන් දහසේ දඩය සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' කළ විමසීමක ඔහු එබව දී පැවසිය.

“අයවැය ලේඛණයේ සමහර විට අලුත් බදු නියම කරනවා. ඒවා පිළිබඳ ප්‍රශ්ණයක් නැහැ ..ඒ පිළිබඳව නීතිය පසුව ගෙනාවත් අයවැය ලේඛණය ඉදිරිපත් කරපු දවසේ ඉඳන් ක්‍රියාත්මක වන පරිදි ආපස්සට ක්‍රියාත්මක කරන්න ව්‍යවස්ථාවෙන් කිසිම තහනමක් නැහැ.

දඩයක් කියන්නේ දණ්ඩනයක්:

නමුත් දණ්ඩන ඊට වඩා වෙනස්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13- 06 වගන්තියේ මූලික අයිතිවාසිකමකින් කියවෙනවා යම් වරදක් සිදුකරනු ලැබුනු අවස්ථාවේදී ඒ වරද සම්බන්දයෙන් බලපැවැත්වූ දණ්ඩනයට වැඩි කිසිම දණ්ඩනයක් ඒ වරද සම්බන්දයෙන් නියම නොකල යුත්තේය කියලා”.

අයවැයෙන් යෝජනා කෙරුණු බදු පැනවීම සහ දඩ නියම කිරිම ක්‍රියාත්මක වන්නේ වෙනස් ආකාරයෙන් බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මෙසේ පැහැදිලි කළේය.

“දඩයක් කියන්නේ දණ්ඩනයක්. බද්දක් වගේ නෙමෙයි. එම නිසි දණ්ඩනයක් ක්‍රියාත්මක කරනවිට ඒ සඳහා ඒ මොහොතේ නීතියක් තිබේ. එම නිසා තමයි පසුව පනත ගෙනාවොත් එහෙම, සංශෝධනය කෙරුවොත් එහෙම මෝටර් රථ ආඥාපනත, එහෙම නැත්නම් අලුතින් පනතක් ගෙනාවොත් එහෙම දඩ නියම කරන නැත්නම් තියෙන දඩ වැඩිකරන එතකොට ඒ දඩ ක්‍රියාත්මක වෙන්නේ ඒ පනතට කතානායකතුමාගේ සහතිකය ලැබුනු දිනේ සිට”.

දඩය අයකර ගැනීමට නව පනතක් ඕන :

රුපියල් විසිපන් දහසේ දඩය අයකර ගැනීමට නව පනතක් ගෙන ආ යුතු බව මෙහි දී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“මම හිතන්නේ මේ පිළිබඳව ප්‍රශ්ණයක් නැහැ. මේ දඩ වැඩිකරනවා කියලා මුදල් ඇමතිතුමා කියනවිට කවුරුත් දැනගෙන හිටියා ඒක ක්‍රියාත්මක කිරීම සඳහා පනතක් ගේන්න ඕනේ කියලා. බදුවලට එහෙම නෙමෙයි බදුනම් ආපස්සට ක්‍රියාත්මක කිරීමට නීතී පසුව ගේන්න පුළුවන්. දණ්ඩන දඩ වැඩිකරනකොට නැත්නම් සිරදඬුවම් හරි වැඩිකරනකොට ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඒ සංශෝධිත නීතිය හෝ අලුත් නීතිය හෝ සම්මත වී කතානායක සහතිකය ලැබුන දින සිට”.

රුපියල් විසිපන් දහසේ දඩයට විරෝධය පල කරමින් පෞද්ගලික බස් සංගම් ඇතුළු සංගම් කිහිපයක් දෙසැම්බර් පළමු වන දා සිට වැඩවර්ජනයක් ද ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top