nsb

Nov 29, 2016

දොස්තරලා හෙට වෙදකම් නවත්තයි

හෙට පෙ.ව 8.00 සිට පැය 24ක කාලයක් දිවයින පුරා සංකේත වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙවර අයවැයෙන් පොදුවේ රාජ්‍ය සේවයට හා නොමිලේ ලබන සෞඛ්‍ය සේවයට බලපාන අහිතකර කරුණු ගණනාවක් මුල්කරගෙන හෙට (30දා)මෙම වැඩවර්ජනය දියත් කරන බවත්,එය ඇතැම්විට අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා ඇදීයාමට ඉඩඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේය.

එසේ වුවද දිවයිනේ පිළිකා රෝහල්,වකුගඩු නිවාරණ ඒකක,රිජ්වේ ආර්යා ළමා රෝහල,කාසල් රෝහල,ද සොයිසා කාන්තා රෝහල ආදී රෝහල් කිහිපයක පමණක් රාජකාරි කටයුතු සිදුකරන බව හෙතෙම කියා සිටියේය.

රාජ්‍ය සේවය එපා කරවන අයවැයක්

taxරාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් දැනට පවතින ක්‍රමවේදය අහෝසි කිරීමත්,රාජ්‍ය සේවකයින්ගේ දීමනාවකට බදු ගැසීමත් එක් කරුණක් බව පැහැදිලි කළ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මීට පෙරාතුව දීමනාවලට බදු ගැසීමේ ප්‍රතිපත්තියක් කිසිවෙකු විසින් ක්‍රියාත්මක නොකළ බවයි.

එමෙන්ම රාජ්‍ය සේවකයෙකු දෙවෙනි රැකියාවක් කරනු ලැබුවහොත් එනම් ගුරුවරුන් ටියුෂන් ලබාදෙනු ලබන්නේනම්,වෛද්‍යවරුන් පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල බෙහෙත් ලබාදෙන්නේනම්,ආදී වශයෙන් සිදුකරන්නේනම් ඊට  25%ක බද්දක් අයකිරීමටද මෙවර අයවැයෙන් යෝජනා වී ඇති බවත්,ඊටද එරෙහි විය යුතු බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

යම් රාජ්‍ය සේවකයෙකු දෙවෙනි රැකියාවක් සිදුකිරීමට මුල්වන්නේ තමන් උපයන පළමු රැකියාවේ ඉපැයීම් ජීවත්වීමට ප්‍රමාණවත් නොවන බැවින් බව පෙන්වාදෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඊටද බදු ගැසීමෙන් සිදුවන්නේ තවදුරටත් රාජ්‍ය සේවය එපාකරවීම යයි පෙන්වාදුන්නේය.

රෝගීන්ට බිලක්-මුදලට තැනක්GPJnews SriLanka AW Diabetes 7 web 620x412
එමෙන්ම රටේ පොදු ජනතාවට බලපාන පරිදි නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීමේ ක්‍රමවේදය මුදල් ගෙවා සේවය ලබාගැනීමේ ක්‍රමවේදයක් බවට පත්කරලීමේ  ආරම්භක පියවර මෙවර අයවැයෙන් ගෙන ඇති බවත්,ඒ අනුව රෝගීන්ට බිලක් නිකුත් කිරීමට යෝජනා කර ඇති බවත්,පළමුව මුදල් ගෙවීමට අවශ්‍ය නොවන නමුත් දෙවෙනි වර ඊට ගෙවන්නට සිදුවන බවත්,නිකරුනේ බිලක් පමණක් නිකුත් කිරීමට ඉදිරියේදී කටයුතු නොකරන බවත් වෛද්‍යවරයා අවධාරණය කළේය.

අනෙක් අතට  පාසල් සිසුන්ට සෞඛ්‍ය රක්ෂණයක් නියම කිරීම තුළින් ද මෙම නොමිලේ ලැබෙන සෞඛ්‍ය ආරක්ෂණය මුදල් ගෙවා ලබාගත යුතු සෞඛ්‍ය ආරක්ෂණයක් බවට පත්කරලීමට ක්‍රියා කරමින් සිටින බවත්, ලෙඩ රෝග වලට අඩුවෙන්ම ගොදුරු වන කණ්ඩායට සෞඛ්‍ය ආරක්ෂණය වෙනුවෙන්  පුද්ගලික රක්ෂණ සමාගමකට රු.බිලියන 2.7ක් ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇති බවත්,එම මුදල්  සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදෙන්නේ නම් මීට වඩා හොඳ සෞඛ්‍ය සේවයක් දරුවන් වෙනුවෙන් ගොඩනැඟිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

දෙබිඩි පිළිවෙතක්

sigaretමීට අමතරව දුම්වැටි නිවාරණය සඳහා දුම්කොළ සමාගමෙන් ජනාධිපති අරමුදලට ආධාර ලෙස විශාල මුදලක් ලබා දිය යුතු බවට යෝජනා කර ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රඥප්තියට අනුව සෘජුව හෝ වක්‍රව දුම්වැටි සමාගම්වල ආධාර ලැබීමට රජයට හැකියාවක් නොමැත. තවදුරටත් දුම්වැටිය අධෛර්ය කිරීමටනම් තව  බදද්දක් ගැසීමට හැකියාව පවතින නමුත් එසේ නොකොට එම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රඥ්ඥප්තියට අත්සන් කර ඇති රටක් ඒ මූලික සිද්ධාන්ත වලට එරෙහිව ක්‍රියා කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය නිවාරණය කළ යුතු බව පෙන්වාදෙමින්,ඒ පිළිබඳ අවධාරණය කරන අතරතුර බියර් සමාගම්වලට බදු සහන ලබාදී තිබීම කනගාටුවට කරුණක් බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top