15976 BM WEB BANNER 01
Nov 30, 2016

ආණ්ඩුවෙන් අලුත්ම කුමන්ත්‍රණයක් !

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිත කුමාර් ගුණරත්නම් මහතාගේ සිරදඩුවම අවසන් වූ පසු ඔහුව යළිත් වරක් රටින් පිටුවහල් කිරීමට ආණ්ඩුව කුමන්ත්‍රණය කමින් සිටින බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක මහතා පවසයි.

එම පක්ෂය ඊයේ (29) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී එබව පැවසු සේනාධීර ගුණතිලක මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

“පසුගිය කාලෙ විශේෂයෙන් වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසුව සාකච්ඡාවට ලක්වුනු විවිධ ප්‍රශ්න අතර කුමාර් ගුණරත්නම් සහෝදරයගෙ දේශපාලන අයිතිය සම්බන්ධ ප්‍රශ්නය මුලපෙළේ සාකච්ඡාවට ගත් ප්‍රශ්නයක්. නමුත් ඒ වෙනුවෙන් ආණ්ඩුව හැසිරුණ විධියත් දැන් ආණ්ඩුව සූදානම්වන ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වය ගැනත් අපි කතා කරන්න ඕන.

අපි මුල්ම අවස්ථාවෙන් මේ කතාව පටන් ගත්තොත්, 80 දසකය අගභාගයේ ලංකාවෙ දේශපාලනය තුළ ප්‍රජාතන්ත්‍ර විරෝධි තත්වයක් ඇතිවුනු පසුබිමක විවිධ ආකාරයෙන් බොහෝ දෙනාගෙ ජීවිත ඒ මර්දනය සිදුවුනු කාලෙ ජීවිත රැක ගන්න විවිධ ක්‍රියාමාර්ග ගන්න සිදුවුණා.

අවදානම් තත්වය හමුවේ :

ඒ කාලෙ වෙනත් ක්‍රමයක් නොමැති තැන වෙනත් බොහෝ දෙනා වගේ ඔහුට සිදුවුණා ලංකාවෙන් පිටමං වෙන්න. එවකට ඔහු දේශපාලනය කළ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කළා ඔහු මුහුණ දී තිබෙන අවදානම් තත්වය හමුවේ ලංකාවෙන් පිටමං වියයුතුයි කියලා.

ඒ වනවිට ගුවන්තොටුපොලෙන් පිටව යාමට තත්වයක් තිබුණෙ නෑ. ඒ නිසා ඔහුට සිදුවුණා උපක්‍රමයක් පාවිච්චි කරලා පිටවෙලා යන්න. ඔහු ඕස්ට්‍රේලියාවට ගියත් දිගින් දිගටම උත්සාහ කළේ නැවත ලංකාවට එන්න. නැවත ඇවිත් තමන් දරණ මතය වෙනුවෙන් වැඩ කරන්න.

PeratugamiS1 600px 16 11 30ඒ නිසා ඔහු ලංකාවට ආව වෙලාවෙ පැවතුනු මහින්ද රාජපක්ෂලගෙ ගෝඨාභයලගේ පාලනයෙ මර්දනකාරී හමුදා යන්ත්‍රය විසින් ඔහුව පැහැරගෙන ගියා. ඒ වෙනකොට අපේ රටේ අතුරුදන්ව සිටි දහස් ගණනක නාම ලේඛනයට ඔවුන්ගෙ නම් එකතු වෙලා තිබුණා.

රනිල් හා කරුගේ මැදිහත්වීම :

නමුත් ඒ අවස්ථාව මගහැරුණෙ ඒ වෙලාවෙ මේ රටේ විවිධ දේශපාලන පක්ෂ, ශිෂ්‍ය සංවිධාන, මානව හිමිකම් ක්‍රියාකාරින්, වාමාංශිකයන් දැන් ආණ්ඩුවේ බලයට පත්ව ඉන්න රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය වගේ නායකයන් ඒ වෙලාවෙ දැඩිව බලකර සිටියා කුමාර් ගුනරත්නම් නිදහස් කරන්න කියලා.

එදා ඔහු වෙනුවෙන් එහෙම පෙනී හිටිය අය ඔහුගෙ අයිතිවාසිකම් පිලිගත් අය තමයි 2015 ජනවාරි 8වැනිදායින් පස්සෙ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවනවා කියලා අද බලයට පත්වෙලා මේ පාලනය කරගෙන යද්දි ඔහුගේ අයිතිවාසිකම් ගැන වගේ වගක් නැතිව නොසලකා හරින්නෙ. කුමන්ත්‍රණකාරී ලෙස මේ ප්‍රශ්නය මගහැර යන්නෙ.

ගජමිතුරන්ට හිමි අයිතිවාසිකම් :

ඉතින් අපි අහන්නෙ මොකක්ද මේ ප්‍රශ්නයෙ දිග පළල විසින් කියන්නෙ. ඔවුන් තම හිතෛශිවන්තයන්ට ගජමිතුරන්ට අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලැබෙනවා, නමුත් ඔවුන්ට විරුද්ධ අදහස් තියෙන අයට, වාමාංශිකයන්ට ඔවුන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය කවදාවත්ම හම්බ වෙන්නෙ නෑ. ඒක තමයි මේ අය කියන්නෙ.

ඒක නිසා අපි දන්නවා කුමාර් ගුණරත්නම් සහෝදරයගෙ ප්‍රශ්නය නිශ්චිත තැනකට දැන් ඇවිල්ලා තියෙන්නෙ. එහිදී පෙනීයන දෙයක් තමයි ආණ්ඩුව විසින් තමන්ගෙ වගකීම මගහැර යාම.

අපි නිතරම අවධාරණය කළේ ඔහුට හිමි පුරවැසි අයිතිය දෙන්න කියලා. ඒ වෙලාවෙ ඔවුන් දිගින් දිගටම මේක නීති ප්‍රශ්නයක් ලෙස කියමින් කුමාර් සහෝදරයාගෙ ප්‍රශ්නය අධිකරණයට තල්ලු කළා. තමන්ගෙ වගකීම මගහැරලා ඔවුන් පැත්තකට වුණා.

දේශපාලන අධිකාරියේ තීරණයක් :

දැන් වසරක් ගතවෙලා ඔහුගෙ සිරදඩුවම් කාලය අවසන් වෙනවා. ඊට කලින් ඔහු මාස හතරක් රිමාන්ඩ් භාරයේ ඉදලා තියෙනවා. මේ ප්‍රශ්නය ගැන අපි ආණ්ඩුවට ඕන තරම් පැහැදිලි කර තියෙනවා. දැන් දේශපාලන අධිකාරිය විසින් ගතයුතු තීරණයක් මේක.

ඒ තීරණය නොගෙන කුමාර් සහෝදරයා නැවත පිටුවහල් කිරීමේ අරමුණක මේ පාලකයන් ඉන්නෙ. ඊයෙ වෙනකොට බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කෑගල්ල අධිකරණයට ගිහින් දීර්ඝකාලයක් ඇදුණ නඩුව ගැන ආපහු හාරා අවුස්සනවා. අවුරුද්දක දඩුවමක් දුන්න නඩුවක තීන්දුව ගැන නැවත අවුස්සන්නෙ ඇයි? ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ පිටුවහල් කිරීමේ තීරණයක්.

කුමාර් සහෝදරයාට ලකාවෙ රැදී ඉන්න වීසා බලපත්‍රයක් නොමැති නිසා පවරපු නඩුවෙදි මහේස්ත්‍රත්වරයා තීන්දුව දුන්නෙ මේ ප්‍රශ්නය අවසාන වශයෙන් විසදන්න ඕන විධායකයෙන් කියලයි.

නමුත් ඊයෙ වෙද්දි ආපහු අධිකරනයෙන් පිටුවහල් කිරීමේ තීරනයක් ගන්නයි යන්නෙ. අපි අහනවා ආණ්ඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන එදා ඔබ කිව්ව දේ, ගෝඨාභයලා ගැන ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය ගැන එදා කිව්ව ඔබ අද මොකද කියන්නෙ කියලා. ඒ වෙනුවට නීතිය පෙන්වමින්, නීතිවලට මුවාවෙමින් කුමාර් ගුණරත්නම් සහෝදරයගෙ පුරවැසි අයිතිය හකුලුවන්න ඔවුන් කටයුතු කරමින් ඉන්නවා.

ආන්ඩුවේ වගකීමක් :

මේක පැහැදිලිව ආන්ඩුවේ වගකීමක්. මේ ප්‍රශ්නය පිළිබද නඩුවක් වසරකුත් කාලයක් ඇදිලා, සිරදඩුවම් විදපු කෙනෙක්, මේ රටේ ඉපදිලා හැදිලා, අධ්‍යාපනය ලබලා, දේශපාලනය කළ කෙනෙකුට මේ විධියට අයිතිවාසිකම් අහිමි කර තිබෙන්නෙ.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කෙරුනු තත්වයකදි රටින් බැහැර ගිහින් පිටුවහල් වෙලා වසර ගණනකට පසුව ආවම මුහුන දෙන තත්වය මේක නම්, අපි හිතනවා ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අනතුරකට ඇදවැටෙමින් තිබෙනවා.

ඒ නිසා අපි හිතන විධියට මේ ප්‍රශ්නයෙන් පෙන්වන්නෙ ලංකාවෙ ප්‍රජාතන්ත්‍රවාසය පිළිබද පැතිකඩක්. ඒක පුද්ගලයෙක්ගෙ, පක්ෂයක එහෙම නැත්නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පමණක් ප්‍රශ්නයක් ලෙස උලුප්පා දක්වන්න සමහරු කැමතියි. ඒ සමහර අය මේ ප්‍රශ්නය අදාළ නැති දෙයක් හැටියට සලකනවා.

නමුත් අපි කියනවා අද දවසේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද ප්‍රශ්නය තමයි මේ තනි මිනිහෙක්ගෙ ප්‍රශ්නය ඇතුලෙන් පෙනෙන්නෙ. එක් එක් ආණ්ඩු එක් එක් පාලකයන් මේ සම්බන්ධව ගන්නා ස්ථාවරය මෙහිදී පැහැදිළි වෙනවා.

දෙසැම්බර් 9 වැනිදා ?

අපි වගකීමෙන් කියනවා දෙසැම්බර් 9 වැනිදා කුමාර් ගුනරත්නම් සහෝදරයා ගුවන්තොටුපොළෙන් එළියට තල්ලු නොකර වහාම ඔහුගේ අයිතිවාසිකම්, ඔහුගෙ දේශපාලන අයිතිවාසිකම් ලබා දියයුතු බව. ඔහුගෙ පක්ෂය, ප්‍රගතිශීලින්, බුද්ධිමතුන්, කලාකරුවන් පහුගිය කාලෙ ආණ්ඩුව ගොඩනගන්න කටයුතු කරපු බොහො දෙනාගෙ ඇතුළු සියලුදෙනාගෙම ඉල්ලීමක් බවට පත්වෙලා තියෙන කුමාර් ගුණරත්නම්ගෙ අයිවාසිකම ආරක්ෂා කළ යුතුයි කියාල අපි විශ්වාස කරනවා.

මේ ආකාරයට කුමාර් ගුනරත්නම්ගෙ අයිතිවාසිකම අහිමි කිරිමට කුමන්ත්‍රනකාරි ලෙස කටයුතු කෙරෙන තත්වයක් ඇති වෙමින් තියෙන්නෙ. ඒ නිස අපි වගකීමකින් කියනවා. ජනතාවගෙන් හා සිවිල් සංවිධානවලට අපි කියන්නෙ මේ වෙලාවෙ මෙම ප්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටින් අප හා එක් වෙන්න කියලා.

මොකද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ බරපතල තත්වයක පෙරමග ලකුනු මෙහි සටහන්වන බව අපි හිතනවා.

පහුගිය කාලෙ පැවැති ප්‍රජාතන්ත්‍රවිරෝධි තත්වයට එරෙහිව ක්‍රියාකාරි වුනු සිවිල් සංවිධාන හා ක්‍රියාකාරින් මෙම ඉල්ලීම වටා එක් වියයුතුයි කියලා අපි හිතනවා.

ඒ වගේම ඔහු පිටුවහල් කකරන්න මේ ආණ්ඩුව ගෙන යන සැලසුමක් තියෙනවා නම් ඒක වහා හෙළිදරව් කරන්න අප බලකර සිටිනවා. අපි ආණ්ඩුවට කියනවා අධිකරණය පස්සෙ යන්න එපා. කෑගල්ල අධිකරණයට ආපහු යන්නෙ නැතිව මේක ආපහු නීතිය වටේ පටලවන්නෙ නැතිව තමන්ගෙ වගකීම ඉටුකරන්න කියලා අපි අවධාරනය කරනවා.

බොහෝ දෙනාට අදාළ වෙන්න ඉඩ තියෙනවා:

ප්‍රජාතන්ත්‍රවාදය, අයිතිවාසිකම් පිළිබද ප්‍රශ්නයක් හැටියට වගකීමෙන් මේක භාර අරගෙන මේක අවසානයට ගේන්න කියලා අපි බලකර සිටිනවා.

අද මේ තත්වයෙන් තිබුණත් හෙට මේක බොහෝ දෙනාට අදාළ ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. දෙසැම්බර් 9 වැනි දායින් පස්සෙ මේ ප්‍රශ්නය වෙනත් ආකාරයකට එන්න ඉඩ නොදී මේ ප්‍රශ්නය විසදීමේ වගකීම ආන්ඩුවට තියෙනවා.

නමුත් මේ දක්වා ආණ්ඩුව ඒ වගකීම ඉටුකරන්න සූදානම් නැති බවයි අපට කියන්න වෙන්නෙ. ඒ නිසා නැවත වාරයක් මේ ආණ්ඩුව විසින් කුමාර් සහෝදරයා පිටුවහල් කරන්නට ගෙනයන කුමන්ත්‍රනය පරාජය කරන්න ඒකරාශි වෙන්න කියලා සියලු දෙනාගෙන් අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටියට ඉල්ල සිටිනවා.

ආණ්ඩුවට මේ ප්‍රශ්නය වගකීම අරගෙන එහෙම විසදන්න බැරි නම් කුමාර් ගුනරත්නම් සහෝදරයාවත් පෙරටුගාමි සමාජවාදී පක්ෂයවත් දේශපාලනය අතහරින්න සූදානම් නැති බව අපි ආණ්ඩුවට කියනවා. අපි මොන තත්වය යටතේ වුවත් අපේ දේශපාලන අරගලය අතහරින්නෙ නෑ. හිරගත කළත් පිටුවහල් කළත් දේශපාලනය අත්හරින්න අපි සූදානම් නෑ.

අරගලය අත්හරින්න සූදානම් නැ:

ඒ නිසා වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඒ වගේම කුමාර් ගුණරත්නම් සහෝදරයා මේ රටේ වාමාංශික දේශපාලන ක්‍රියාධරයෙක් හැටියට ඕනෑම අභියෝගයක් යටතේ දේශපාලන අරගලය අත්හරින්න සූදානම් නැති බව අපි කියනවා. නැවත වාරයක් ලංකාවෙ පොදුවෙ කම්කරුවන්, ගොවියන්, ශිෂ්‍යයන් ඇතුළු පීඩිතයන් වෙනුවෙන් අපේ අරගලය අත් නොහැර ඉදිරියට ගෙන යන බව අපි ප්‍රකාශ කරනවා.“

මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයන් වන චමීර කොස්වත්ත හා දුමින්ද නාගමුව සහ මධ්‍යම කාරක සභික විමල් පියතිස්ස සහභාගී වූහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top