nsb

Dec 01, 2016

යහපාලන නළුනිළියෝ හැලුන සරසවි සම්මාන මාධ්‍ය හමුව Featured

ලබන දෙසැම්බර් 15 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වීමට නියමිත සරසවි සම්මාන උළෙල වෙනුවෙන් ඊයේ (30) ලක්ෂමන් කදිරගාමර් කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට යහපාලනය ගෙනඒමට විශාල දායකත්වයක් දැක්වූ ප්‍රබල නළු නිළියන්ට ආරාධනා ලැබී නොතිබුණ බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

එහි ප්‍රධාන පෙලේ අසුන්ගත් අය අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකයකුද සිටි බව වාර්තා වේ.

මේ සම්මාන උළෙල වසර 6කට ආසන්න කාලයක් නොපැවැත්විණි.

එම සම්මාන උළෙල පැවැත්විය යුතු බවට පසුගිය කාලයේදී දිගින් දිගටම කතා කළ හා එය පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සැකසීමට දායක වූ සමාජ සුභසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාටද ඊට ආරාධනා ලැබී නොතිබිණ.

මටත් ආරාධනා තිබුණෙ නෑ - රන්ජන්

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ තත්ත්වය ගැන කනගාටු වන බවයි.

එසේම පසුගිය කාලයේදී එම සම්මාන උළෙල පැවැත්වීමට අකුල් හෙළූ අය අදාළ මාධ්‍ය හමුවේ ප්‍රධාන අසුනේ සිටි බව තමාට වාර්තා වූ බවද ඔහු කීය.

රාමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ සම්මාන උළෙල පසුගිය සයවසරක කාලය තුළ නොපවත්වනු ලැබුවේ තමා එම වසරවල ජනප්‍රියම නළුවා ලෙස සම්මාන ලැබීම නැවැත්වීමට බවයි.

මේ 33 වැනි සම්මාන උළෙලයි

මෙවර පැවැත්වෙන්නේ 33 වැනි සරසවිය සිනමා සම්මාන උළෙලය.

මුල්ම සරසවිය සම්මාන උළෙල 1964 වර්ෂයේ මැයි මස 10 වැනිදා පැවැති අතර එහිදී 1961, 62 සහ 63 වර්ෂවල තිරගත වූ සිංහල චිත්‍රපට සඳහා සම්මාන ප්‍රදානය කිරීමටය.

සරසවිය ආරම්භක කර්තෘ විමලසිරි පෙරේරා මේ සඳහා මුල්වූ බව පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top