Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 17, 2018

රුසියන් ලංකා ආර්ථික සහයෝගීතා සමුළුව ඇරඹේ

ශ්‍රි ලංකාවේ තේ රුසියාවේ තහනම සහ ඇස්බැස්ටස් ආනයනය අතර කිසිදු සම්බන්ධතාවක් නැති බවත්, දැන් එම තහනම ඉවත්වී ගැටලුව විසඳී තිබෙන බවත්, ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති යූරි මෙට්රිරිට් මහතා පවසයි.

රුසියානු තානාපතිවරයා එසේ සඳහන් කළේ පසුගියදා අමාත්‍යාංශයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවී කරන ලද සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ රුසියානු තානාපතිවරයා මෙසේද පැවසීය.

"ශ්‍රි ලංකාවේ තේ අපනයනය හා රුසියාවෙන් ඇස්බැස්ටස් ආනයනය අතර සම්බන්ධතාවයක් නැහැ. නමුත් අපි ඇස්බැස්ටස් භාවිතය පිළිබඳව පුළුල්ව සිතා බැලිය යුතුයි. මේ ඇස්බැස්ටස් තහනම් කළ යුතුද? නැද්ද? යන්න ගැන පර්යේෂණාත්මකව සිතා බැලිය යුතු වෙනවා. ඇස්බැස්ටස් ගැන කතා කරන විට රුසියාවේ ක්‍රිසෝටයිල් (Chrysotile) නිෂ්පාදන ගැන අවධානය යොමු කළ හැකියි. එහි සේවය කරන සේවකයින් ගෙවී ගිය වසර 30 ක කාලය තුළ කිසිදු අනතුරුදායක තත්ත්වයකට පත් වෙලා නැහැ. ඒ වගේම කිසිම පිළිකා රෝගියෙකු වාර්තා වෙලා නැහැ. මේ පතල්වල අත්වැසුම් නොමැතිව වැඩ කරන සේවකයෝ බොහෝමයක් ඉන්නවා. ඔවුන්ට කිසිම අනතුරක් නැහැ. ලෝකයේ ඇස්බැස්ටස් ලබා ගන්නන් අතර ශ්‍රි ලංකාව පෙරමුණේ සිටිනවා. ඒ වගේම ඉන්දියාව, ඉන්දුනීසියාව හා චීනයක් සිටිනවා. රුසියාව හැමවිටම ශ්‍රි ලංකාව සමග පවතින සබඳතා වැඩි දියුණු කර ගැනීමට කැමැත්තෙන් සිටිනවා. අපේ දෙරට අතර වාණිජ හා වෙළෙඳ ගණුදෙනු වැඩ වඩාත් පුළුල් කර ගැනීමට රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන ශ්‍රි ලංකා රුසියානු සහයෝගීතා කොමිසමට පැමිණෙන ලෙස ආරාධනා කරනවා." යැයි පැවසීය.

රුසියාව සිය තේ අවශ්‍යතාවලින් සියයට 23% ලබා ගන්නේ ශ්‍රි ලංකාවෙනි. එසේම රුසියාව ශ්‍රි ලංකාවෙන් තේ ලබා ගන්නා ප්‍රධානතම ගැණුම්කරුවෙකු ද වේ. 2017 මුල් මාස කිහිපයේදී පමණක් රුසියාවට අපනයනය කරන ලද තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 25 ක් වේ. ඒ සඳහා රුපියල් බිලියන 19 ක ආදායමක් උපයාගෙන තිබේ. ශ්‍රි ලංකාවේ සියලුම වර්ගයේ තේ මිලදී ගන්නා දෙවැනි ගැණුම්කරු වන්නේ ද රුසියාවයි.

රුසියාවෙන් ඇස්බැස්ටස් ආනයනය කරන ප්‍රධානතම රටවල් 04 න් එකක් වන්නේ ශ්‍රි ලංකාවයි. නමුත් මෑත වකවානුවේදී රුසියාවෙන් ආනයනය කරන ඇස්බැස්ටස් ප්‍රමාණය අඩු වෙමින් පවතී. ගෙවී ගිය වසර 4 ක කාලය තුළ එය අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකින් අඩුවී ඇත.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ කර්මාන්ත හා වාණිජ කටයුතු ගරු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ පැවසීය.

" තේ ප්‍රශ්නයට රුසියානු රජය විසින් කඩිනමින් විසඳුමක් ලබා දීම ගැන අප රටේ ප්‍රශංසාව හිමිකරනවා. ඒ වගේම රුසියානු තානාපතිවරයා ලෙස ඔබ අප රටේ මිතුදම ගැන පුළුල් මනසකින් යුතුව අදහස් දැක්වීම ගැන මගේ ස්තූතිය පුද කරනවා. රුසියාව හා ශ්‍රි ලංකාව අතර පවතින දිගු කාලීන මිතුදම වැඩි දියුණු කර ගැනීමටත්, වෙළෙඳ සබඳතා තරකර ගැනීමටත්, මොස්කව් හි පැවැත්වෙන ශ්‍රි ලංකා රුසියානු ආර්ථික සහයෝගීතා සමුළුව ඉතා වැදගත් වෙනවා. මේ නිසාම මගේ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙයට සහභාගී කරවීමට බලාපොරොත්තු වෙනවා" යැයි පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top