Dec 02, 2016

වැස්සේ තෙමි තෙමී උරුමය රකින මුරකරුවෝ (ඡායා) Featured

ඓතිහාසික පොළොන්නරු නගරයේ පුරාවිද්‍යා ස්ථාන රැකීමට යොදවා ඇති ආරක්ෂකයින්ගේ මුර කුටි දිරාපත්වීම නිසා ඔවුන්ට එම නටබුන් රැකීමට සිදුව ඇත්තේ ධාරානිපාත වැසිවලට තෙමි තෙමී බව වාර්තා වේ.

මේ ආරක්ෂක නිලධාරීන් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සහ සංස්කෘතික අමාත්‍යංශය විසින් ඓතිහාසික නටබුන් ආරක්ෂාවට යොදවා ඇති අය වෙති.

පොළොන්නරුවේ ඓතිහාසික නටබුන් රැකීමට ඒවාට ඇතුල්වන දොරටුවේ සිට පිටවීමේ දොරටුව දක්වා විවිධ ස්ථානවල ආරක්ෂකයින් යොදවා තිබේ.

ශ්‍රී ලංකා මිරර් වෙත අදහස් දැක්වූ ආරක්ෂකයින් කියා සිටියේ ඔවුන්ට රාජකාරී කිරීමට මුරකුටි හරියාකාරව නොමැති බැවින් රාජකාරී පොත්පත් ආරක්ෂාකර ගැනීම පවා විශාල ගැටලුවක්ව ඇති බවයි.

වැසිදිනවලට නොතෙමී ආහාර ගැනීමට හෝ නොහැකි බවද ඔවුන් කියා සිටියේය.

මේ ගැටලුව විසඳීමට යැයි කියමින් පොළොන්නරුවේ ඉපැරණි නගරයේ ස්ථාන හයක ආරක්ෂක කුටි  හයක් ඉදිකෙරෙමින් ඇති බවත්, ඒවායේ ඉදිකිරීම් ආරම්භකර මේවන විට වසරක් පමණ ගතවී ඇතත් මෙතෙක් එම ඉදිකිරීම නිමාවී නොමැති බව ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී අනාවරණය විය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනය කිරීමට පොළොන්නරුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කලමණාකරු සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.

එසේම මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් ප්‍රියශාන්ත ගුණවර්ධන මහතාද දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළද එයද අසාර්ථක විය.

ඓතිහාසික මූලාශ්‍රවලට අනුව දුටුගැමුණු රජු සටන් ආරම්භ කළ ජය භූමිය පොළොන්නරුව සේ සැලැකේ.

එසේම එළාර රජුගේ දෙතිසක් මහා බලකොටුවලින් එකක් පිහිටා තිබුණේද පොළොන්නරුවේ බවට විශ්වාස කෙරේ.

එකළ පොළොන්නරුව රටේ අගනගරය ලෙසද පැවැති බව කියවේ.

සටහන හා ඡායාරූප - ඩබ්ලිව්.ඒ.පියතිලක

 



Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top