nsb

Dec 02, 2016

කුමාර් නිදහස් - අරගලය අත්හරින්නේ නැතිලු (ජායා )

ජනතාවගේ සුසිද්ධිය වෙනුවෙන්, පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, සමාජවාදය වෙනුවෙන්, පක්ෂය හා සමස්ත ජනතාව සමග ඉදිරියේදී අරගලයේ නියුතුවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා අවධාරණය කර සිටියි.

අද දහවල් 12.00ට අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කළ පසු ජනමාධ්‍යවේදීන් අමතා ඔහු එබව පැවසිය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් පුරා වසරක කාලයක් බන්ධනගාර ගතව සිටීමෙන් පසු අද (02) නිදහස ලැබීය.
පසුගිය වසරේදී කෑගල්ලේ පිහිටි ඔහුගේ මවගේ නිවසේදී අත්ඩංගුවට පත්වූයේ වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටීමේ වරදටයි.


ජනමාධ්‍යවේදීන් අමතා ඔහු මෙසේද පැවසිය.

ප්‍රශ්නයට විසදුමක් නෑ :

“අවුරුද්දකුත් මාසෙකට පස්සෙ ආපහු සාමාන්‍ය ජනයා සමග දේශපාලන කටයුතු කරන්න අවස්ථාව ලැබුණා කියලා හිතනවා. නමුත් තවමත් මගේ දේශපාලන අයිතිය හා පුරවැසිභාවය පිළිබද ප්‍රශ්නයට විසදුමක් නෑ. වාර්තා වෙලා තියෙන තොරතුරු අනුව කෙටි කාලයකට තාවකාලික වීසා බලපත්‍රයක් දීලා තියෙනවා. ඒ අනුව තමයි පුරවැසිභාවය වෙනුවෙන් වැඩකටයුතු කරන්න වෙන්නෙ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහෝදර සහෝදරියො, අනෙකුත් වාමාංශික පක්ෂ සහ පුද්ගලයන්, ප්‍රගතිශීලීන්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද මගේ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂයෙන් ඒ වෙනුවෙන් අරගලය තුළ කැපවීමෙන් කටයුතු කළා, අරගලයේ නිරතවුණා.

එහි යම් ප්‍රතිපලයක් ලබාගන්න පුලුවන් වෙයි.

අරගලයේ දිගුවක් :

මගේ පුරවැසිභාවය පිළිබද ප්‍රශ්නය පොදුවේ රටේ පුරවැසිභාවය පිළිබද ප්‍රශ්නයේම පැතිකඩක් හැටියටයි මා හිතන්නේ.

ඒ නිසා මේක රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනාගැනීමේ අරගලයට මා ඉදිරියේදී දායකත්වය සැපයීම මේ අරගලයේ දිගුවක් ලෙස මා හිතනවා.

මා අත්අඩංගුවට ගත් දිනයේ සිට රටේ විවිධ ස්ථානවල සිර අරගල කරමින්, උද්ඝෝෂනය කරමින් මගේ අයිතිවාසිකම් හා දේශපාලන නිදහස වෙනුවෙන් සමාජ මතයක් ගොඩනගන්න අවශ්‍ය හඩ නැගීමක් අරගලයක් සිදුවුණා.

මා අධිකරණයෙන් දුන් දඩුවම ගෙවලා තමයි මේ එලියට ආවෙ. නමුත් දේශපාලන අයිතිය ලබාගැනීමේ අරගලයේ යම් සාධනීය ප්‍රතිඵලයක් ලබනවා නම් ඒක වෙන්නෙ රටේ ප්‍රගතිශීලීන් වාමාංශික පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ලැදි අනෙකුත් ක්‍රියාකාරින් එක්ට දැක්වූ දායකත්වය නිසයි. ඔවුන්ගේ උත්සාහයේ හා කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසයි.''

එම ස්ථානයට රැස්ව සිටි මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

ප්‍රශ්නය :

පාර්ලිමේන්තුවෙදි ඇමැතිවරයා කිව්වෙ ඉල්ලීම් කළොත් පුරවැසිභාවය දෙන්න පුලුවන් කියලා.?


පිළිතුර :

ඉල්ලීම් ගණනාවක් අප භාරදීලා තියෙනවා. මා ලංකාවට ආවෙ 2015 ජනවාරි 1 වැනිදා. එදා සිට මා ඉල්ලීම් ඉදිරිපත් කළා. අත්අඩංගුවට ගන්න කළින්ම අයදුම් පත්‍ර කීපයක්ම ඉදිරිපත් කළා. ප්‍රශ්නෙ තියෙන්නෙ මෙතෙක් ඒ අයදුම් පත්‍ර භාරගන්න තත්වයක්වත් තිබුනෙ නෑ.

ඒ නිසා විධිමත් ඉල්ලීමක් ඉදිරිපත් කිරීම කියන එක එක්තරා ආකාරයකට හාස්‍යයට කාරනයක්. එවැනි අයදුම් කිරීම් ගණනාවක් අප දැනටමත් භාරදීලා තියෙනවා. ඒ ඉල්ලීම් භාරගන්නෙවත් නැතුව ඔවුන්ගෙ විවිධ දේශපාලන අරමුණු නිසා අත්අඩංගුවට ගෙන අදිකරන ක්‍රියාමාර්ගයකට යොමු කළා.

නැවත ඉල්ලීමක් කරන්න කියලා කියනවා නම් ප්‍රශ්නයක් නෑ අයදුම්පත්‍රයක් දෙන්න පුලුවන්.


ප්‍රශ්නය :

විශ්වාසයක් තියෙනවද පුරවැසිභාවය ලැබෙයි කියලා.


පිළිතුර :

අපට හැමවෙලාවෙම විශ්වාසය තියෙන්නෙ අපේ අරගලය ගැන, පාක්ෂිකයන්ගෙ ධෛර්ය ගැන. ඉතිහාසයෙදි වගේම මේ වෙලාවෙත් අපේ විශ්වාසය තියෙන්නෙ අපේ පාක්ෂිකයන් හා අරගලය ගැනයි ඒ වගේම රටේ වාමාංශික, ප්‍රගතිශීලින් හා ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල කැපවීම පිළිබද විශ්වාසය තමයි අපට තියෙන්නෙ. ඒ විශ්වාසය තමයි අපට ඉදිරියේ සිදුවන දේ ගැන ජයග්‍රාහීව හිතන්න පොළඹවන්නේ.

නමුත් වර්තමාන ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කුමන පියවරක් ගනීද කියලා අපට විශ්වාසයක් නෑ. විශේෂයෙන් පැවති ආණ්ඩුවත් දැන් පවතින ආන්ඩුවත් ඒ නායකයනුත් තම තමන්න් න්‍යායපත්‍රය අනුව වැඩ කරනවා මිස රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හෝ දේශපාලන ක්‍රියාකාරිකයෙකුගේ අයිතිය රැකීම ගැන ඔවුන් තීරණ න්නෙ නෑ.

ඔවුන් තමන්ගෙ දේශපාලන බලය වෙනුවෙන් වූ නයාය පත්‍රයකට අනුවයි තීරන ගන්නෙ. ඒ නිසා අපේ විශ්වාසය තියෙන්නෙ අපේ අරගලය ගැනයි.


ප්‍රශ්නය :

දිගටම දේශපාලනයෙ යෙදන්න අදහසක් තිබෙනවද?


පිළිතුර :

මගේ දේශපාලන ක්‍රියාකාරත්වය ගැන ගැටලුවක් කවදාවත් තිබුනේ නෑ. ලංකාවෙද ඉන්නෙ විදේශගතවද ඉන්නෙ කියන එක දේශපාලන ක්‍රියාකාරතිව්යට ප්‍රශ්නයක් නෙවෙයි. හිරගතව ඉන්න එකත් ප්‍රශ්නයක් වුණේ නෑ. මොකද හිරගතව ඉන්න එකත් සාමාන්‍ය ජනතාවගේම කොටසක් බන්ධනාගාරයේ රැකියාවල නියුතු වෙනවා. ඒ වගේම සාමාන්‍ය ජනතාවගෙ කොටසක් සිරගතව ඉන්නවා.

ඒ නිසා ඔවුන් එක්ක හෝ පක්ෂයත් එක්ක දේශපාලනය කරන එක කවදාවත් ප්‍රශ්නයක් වුනේ නෑ. ඉදිරියේදී ජනතාවගේ සුසිද්ධිය වෙනුවෙන් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සමාජවාදය වෙනුවෙන් පක්ෂය හා සමස්ත ජනතාව සමග ඒ අරගලයෙ දිගටම නියුක්ත වෙනවා.


ප්‍රශ්නය :

ඔබ ද්විත්ව පුරවැසිභාවයද බලාපොරොත්තු වෙන්නෙ?


පිළිතුර :

පැහැදිලිවම අපි මුලසිට කිව්වෙ රටේ පාරම්පරික පුරවැසිභාවය පිලිබද අයිතිය ඕන කියලා. පාරම්පරික පුරවැසිභාවය පිලිගැනීමේ වගකීම තියෙන්නෙ ආණ්ඩුවටයි. අපි ද්විත්ව පුරවැසිභාවය පිළිබද ඉල්ලීමක් කොයි වෙලාවකවත් ඉදිරිපත්කළෙත් නෑ.

නමුත් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කරන්න ලංකාවෙ පුරවැසිභාවය පිළිගත යුතුයි. පොදු තත්වය රටක් නැති පුද්ගලයෙක් ඉන්න බෑ. ඒ නිසා අපේ අවශ්‍යතාව තමයි පුරවැසි අයිතිය ලබාදන එක.

ඉන්පසුව ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කරලා මෙහේ දේශපාලන කටයුතු කරගෙන යන්න පුලුවන්.'

kumar

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top