Dec 03, 2016

බැඳුම්කර වංචාවට නොදෙවෙනි සහල් ගනුදෙනුවක් !

“බැඳුම්කර වංචාව වගේම රටට මූල්‍ය පාඩුවක් සිදුකරපු මහා දැවැන්ත සහල් ගණුදෙනුවක් තියෙනවා. ලංකා සතොස විසින් ගොවියන්ගෙන් වී මිලදී ගන්නවා වෙනුවට ඉතාම අත්තනෝමතික විදිහට ලංකාවට ගෙන්නපු හාල් ප්‍රමාණයක් තියෙනවා.'' යයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසිය.

ඔහු එබව කියා සිටියේ, අය වැය කාරක සභා අවස්ථා විවාදයේ 12වන දිනය වූ ඊයේ (02) කර්මාන්ත හා වාණිජ, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා ප්‍රාථමික කර්මාන්ත යන අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

2014, 2015 කාලසීමාවේදී සතොස මගින් සහල් ආනයනය කිරීමේදී සිදුවූ මූල්‍ය පාඩුවක් පිළිබඳ තොරතුරු හෙළිකරමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

75ට ගෙන්නපු පුන්නි 60ට විකුනලා !

''දැනට ගිහින් බැලුවත් ගුදම්වල තියෙනවා කන්ට්‍රේනර් ගණනාවක් ඒ ගෙන්නපු හාල්. විශේෂයෙන්ම 2014 සහ 2015 අවුරුදු දෙකේදී දේශීය නිෂ්පාදනය කරන හාල් මෙට්‍රික් ටොන් 46,698ක් ලංකා සතොසට ගන්නකොට, ලංකාවට ගෙන්නලා තියෙන ප්‍රමා‍ණය 2,75,693ක්.

විදේශ වෙළඳපොලෙන් ගත්ත ප්‍රමාණය විතරක් කෝටි 973ක 2014 සහ 2015.

ඒ විතරක් නෙමෙයි එහෙම තියෙද්දි 2014 ඉඳලා පටන්ගත්තා පුන්නි සම්බා රුපියල් 75ට ගෙන්නපුවා රුපියල් 60ට විකුණන්න. ඒකෙන් අවසාන වෙච්ච පාඩුව කෝටි 236යි. මේ වෙනකොටත් ඒ ක්‍රියාවළිය සිදුවෙනවා.

දැන් ඊලඟට මොකද වෙන්නේ මේ තැන්වල තියෙලා තියෙන ගබඩාවේ හාල් විවිධ උපක්‍රම පාවිච්චි කරලා PHI වාර්තා අරගෙන මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් හාල් තියෙනවා ඒවා සත්ත්ව ආහාර හැටියට පාවිච්චි කරලා රුපියල් 38ට විකුණනවා”.

කෝටි 1860 පාඩුවක් :

2014 වසරේදී සිදු කැර ඇති මෙම සහල් ආනයනය කිරීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 1860 ක මුල්‍ය පාඩුවක් සිදුව ඇතැයි ද සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ගොවි ජනතාවගේ සහල් විකුණා‍ ගැනීමට නොහැකිව මහපාරේ ගොඩ ගැසෙමින් තිබියදී පසුගිය ආණ්ඩුව කැබිනට් මණ්ඩලයේදි අනුමැතියෙන් තොරව සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් එක්දහස් දෙසිය දහසක් ඉන්දියාවේ ඒ. සි. පී. සමාගමෙන් ආනයනය කිරීම තුළින් මෙම පාඩුව සිදු කැර ඇති බවත් මන්ත්‍රීවරයා පැවසිය.

කෙසේ වූවද මේ සියල්ල සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විමර්ශනයක් සිදු කැර පාර්ලිමේන්තුවට කඩිනමින් වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා කිය.

ඒ .සි. පී .සමාගම ?

පසුගිය ආණ්ඩුව යටතේ මෙම සහල් තොගය ආනයනය කැර ඇති ඒ .සි. පී .සමාගම සහල් ආනයනය කරන සමාගමක් නොවන බවත් මෙම ක්‍රියාවලීය විධිමත්ව සිදු කැර නොමැති බවත් මන්ත්‍රීවරයා කීය.

කෙසේ වුවද අදවන විට මෙම සහල් තොගය රුපියල් 38ට වත් විකුණා ගැනීමට නොහැකිවී ඇති බවත් හඳුන්නෙත්ති මහතා කීය.

2014 වසරේ ඔක්තෝම්බර් 15 වැනිදා‍ සිට සහල් මෙට්‍රික් ටොන් පනස් දහසක්, මෙට්‍රික් ටොන් ලක්ෂයක්, මෙට්‍රික් ටොන් හැටක් හා මෙට්‍රික් ටොන් 25ක් ලෙස මෙම සහල් ආනයනය කැර ඇත.

එම සමයේදි ගොවීන්ගෙන් සහල් මෙට්‍රික් ටොන් හතලිස් හයදහසක් මිලදී ගෙන ඇති අතර මෙම සහල් තොගය රේගුවෙන් නිදහස් නොකිරීම හේතුවෙන් ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් කෝටි 36ක් ගෙවා ඇතැයිද මන්ත්‍රීවරයා කීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top